වැලි ව්‍යාපාරිකයා ඝාතනය කර ඇත්තේ ‘චාමර’ගේ කල්ලිය කළ ඩීසල් වංචාවක් නිසයි

  👤  3307 readers have read this article !
By mawbima 2018-04-24

චාමර අමරසූරිය

අත්තනගල්ල ප්‍රදේශයේ පැවැති සංගීත ප්‍රසංගයකදී වැලි පස් ව්‍යාපාරිකයකු ඝාතනය කළ බව පැවසෙන "චාමර" ඇතුළු කල්ලිය එම ව්‍යාපාරිකයාගේ ව්‍යාපාර කටයුතුවල නිරතව සිටියදී ඩීසල් වංචාවක් සම්බන්ධයෙන් ව්‍යාපාරිකයා විසින් ඉවත් කළ පිරිසක් බවත් එහි පළිය ගැනීම සඳහා ඔවුන් මෙම ඝාතනය සිදුකර ඇති බවත් මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

චාමර ඉන්ද්‍රජිත් ජයසුන්දර නමින් හඳුන්වන මොහු 2016 දෙසැම්බර් 24 වැනි දින වේයන්ගොඩ පාලම අසලදී මෝටර් රථයක යමින් සිටි ජානක සමන්ත කුමාර නොහොත් "උදම්මිට සමරේ" ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසා තිබිණි.

වේයන්ගොඩ මාලිගාතැන්න ප්‍රදේශයේ පදිංචි චාමර නමැත්තා අධිකරණ ඇප මත සිටියදී සූක්ෂ්ම ලෙස මෙම ඝාතනය සැලසුම් කර ඇති බවත් ඔහු තවත් පුද්ගලයන් තිදෙනකු සමඟ මෙම ඝාතනයට සංගීත සංදර්ශනය පැවැති භූමියට පැමිණ ඇති බවත් පොලිසිය පවසයි.

මෙම ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනා යටතේ චාමර නමැත්තාගේ ගෝලයකු නිට්ටඹුව පොලිසිය මඟින් ඊයේ (23දා) අත්අඩංගුවට ගෙන ඇත.

මීට මාස කිහිපයකට පෙර ඝාතනයට ලක්වූ බියගම, හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි රත්න දේවප්‍රිය (37) නමැත්තා ඔහුගේ ව්‍යාපාර කටයුතුවලට චාමර සහ ඔහුගේ ගෝලයන් සම්බන්ධ කර ගෙන තිබේ.

නමුත් චාමර ඇතුළු කණ්ඩායම එම ව්‍යාපාරිකයාගේ වාහනවලින් ඩීසල් ඇද ඔහුට විශාල පාඩුවක් සිදුකර තිබූ බවද පොලිසියට තොරතුරු ලැබී ඇත.

පසුව ව්‍යාපාරිකයා චාමරට බැන වැදී ඔහු ව්‍යාපාරික කටයුතුවලින් ඉවත් කර තිබේ.
ව්‍යාපාරිකයා සමඟ වෛරයක් ඇති කර ගත් චාමර මෙලෙස ඉතා සූක්ෂ්ම අයුරින් ඔහු ඝාතනය කිරීම සඳහා සැලසුමක් දියත් කර තිබූ බවද පොලිසිය පවසයි.

මෙම සංගීත සංදර්ශනයේ පොල්තෙල් පහන දැල්වීමට ව්‍යාපාරිකයාට ආරාධනා කළ සංවිධායකයකුද නිට්ටඹුව පොලිසිය මඟින් මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.
ඉකුත් 21 වැනිදා රාත්‍රියේ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් අදාළ ව්‍යාපාරිකයා මියගොස් සංගීත සන්දර්ශනය නැරඹීමට පැමිණි ගැබිනි කාන්තාවක ඇතුළු සිවුදෙනෙක් තුවාල ලැබූහ.
බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, ගම්පහ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි මුදිත පුස්සැල්ල යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත නිට්ටඹුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින්ද දිල්රුක් මහතාගේ උපදෙස් හා මෙහෙයවීම මත මේ පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු සිදුකෙරේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon