අවුරුදු 13කට කලින් සෞදි ගිය ලොකු දුව සොයා දෙන්න

  👤  3313 readers have read this article !
By mawbima 2018-04-24

සෞදි රාජ්‍යයේ ඩමාර් නගරයට වසර දහතුනකට ප්‍රථම ගෘහසේවයට ගිය තම දියණිය පිළිබඳව කිසිදු තොරතුරක් මෙතෙක් නොමැති බව හැටන් කුඩාගම ප්‍රදේශයේ පදිංචි මවක් හැඬ­ කඳුළින් කියා සිටී. තම නිවෙසේ තිබෙන ආර්ථික අපහසුකම් නිසා නිවෙසක් ඉදි කරගැනීමේ අරමුණින් 2005.08.09 වැනි දින කොළඹ පිහිටි පෞද්ගලික විදේශ රැකියා ආයතනයක් හරහා සෞදි රාජ්‍යයේ ගෘහ සේවයට ගිය එවකට 23 හැවිරිදි සුප්පයියා විග්නේශ්වරි නම් සිය වැඩිමහල් දියණිය සොයා දෙන්නැයි ඇයගේ මව වන සිවලිංගම් විජේලෙච්චමි (56) ඉල්ලා සිටියි.

තම දියණිය විදේශ ගත වීමෙන් පසු මාස හයකට පසු නිවෙසට දුරකතන ඇමැතුමක් ලබාදුන් බවත් වැටුප් ලද විගස නිවෙසට මුදල් එවන බවත්, ඉන් අනතුරුව 2005 වසරේ අවසන් වරට තමන්ට දුරකතන ඇමැතුමක් ලබා දුන් බවත් මව කියා සිටී.

අවසන් වරට තමන්ට ලබාදුන් දුරකතන ඇමැතුමෙන් තමන් රැකියා කරන ස්ථානයේ හිරිහැර රැසක් ඇති නිසා තමන් කඩිනමින් වසර අවසානයේ නිවෙසට පැමිණෙන බව විග්නේශ්වරිගේ මව කියා සිටී. තම සොහොයුරිය සොයා ගැනීම සඳහා ඇය විදේශ ගත වූ කොළඹ දෙවැනි හරස් වීදියේ පිහිටා තිබූ විදේශ රැකියා ඒජන්සියට ගියද එම ස්ථානයේ එම රැකියා ඒජන්සිය නොතිබුණු බව සුප්පයියා සුදාකරන් (31) දෙදරු පියා පවසයි.

පසුව 2005 වසරේ තම පියා මිය යෑමට ප්‍රථම පියා සමඟ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ගොස් පැමිණිලි කළත් එයට ප්‍රතිචාර නොලැබුණු නිසා මවත් තමනුත් කිහිප අවස්ථාවක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ගොස් පැමිණිලි කළද මේ වන තෙක්ම තම සොහොයුරිය සොයා ගැනීමට නොහැකි වූ බව සුප්පයියා සුදාකරන් කියයි.
දැඩි ලෙස රෝගාතුරව සිටින විග්නේශ්වරිගේ මව කියා සිටින්නේ තම දියණියව වැටුප් නොමැතිව හෝ දිවයිනට ගෙනැවිත් දෙන ලෙසයි.

පෙදරේරුවකු වශයෙන් රැකියා කරන සුප්පයියා සුදාකරන් සහ වටවල ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තයේ සේවය කරන සුදාකරන්ගේ බාලම සොහොයුරිය විසින් තම මව රැකබලා ගන්නා බව සුප්පයියා සුදාකරන් කියා සිටි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon