‘මව්බිම’ පුවතින් පුංචි මල්ෂාන්ගේ ලෝකයට දෙවිනුවරින් ලැබුණු සහන් එළිය

  👤  3234 readers have read this article !
By mawbima 2018-04-24

'මේ දරුවාට පිහිට විය හැකි නම් ලොකු පිනක්' යන ලිපි ශීර්ෂයෙන් 2018.04.18 වැනි දින 'මව්බිම' පුවත්පතේ පළවූ බදුල්ල, පස්සර, හිඟුරුකඩුව ප්‍රදේශයේ ඔක්සිජන් යන්ත්‍රයක් නොමැතිව නිදාගත නොහැකි දරුවකු පිළිබඳ කතාවට ප්‍රතිචාර දක්වමින් මල්ෂාන් දරුවාගේ ජීවිතයට ආලෝකයක් එක්කර දීමට ආයතනයක් ඉදිරිපත් විය.
ඒ දෙවිනුවර ප්‍රදේශයේ ෂින් ඒ ලංකා පෞද්ගලික සමාගමේ ජී.ඒ. ජගත් ඩිලන්ත සහ ජී.ඒ. අජිත් නන්දන යන මහත්වරුන්ය. ඔවුන් විසින් එම ඔක්සිජන් යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සූර්ය කෝෂ මඟින් විදුලිය උත්පාදනය කළ හැකි විදුලිජනක පද්ධතියක් සවිකිරීම පසුගියදා සිදු කෙරිණි.
ජගත් ඩිලන්ත මහතා 'මව්බිම' සමඟ අදහස් දක්වමින් මෙසේ පැවැසීය.

''විදුලිය නොමැති වුවහොත් ඔක්සිජන් යන්ත්‍රය ක්‍රියාත්මක කළ නොහැකි වීම නිසා නිදියගන්න බැරිව අසරණව සිටින එම පවුලේ දරුවාගේ තත්ත්වය අප දැක්කේ 'මව්බිම' පුවත්පතින්. මුලින්ම අප 'මව්බිම' පුවත්පතට ස්තූතිවන්ත වෙනවා මෙවැනි පුවතක් පළ කිරීම සම්බන්ධව. මේ පුවත දැකීමත් සමඟම අප අදහස් කළා මේ දරුවාට උදවු කරන්න. අපි නාවුක විද්‍යුත් උපකරණ සවිකරන ආයතනයක් හැටියට මේ දරුවාට අවශ්‍ය ඔක්සිජන් යන්ත්‍රය ක්‍රියාකිරීමට විදුලිය ලබාදීමට අපිට හැකියාව තිබුණා. ඒ නිසා අපි දරුවාගේ ඉදිරි අනාගතය ගැන හිතලා සූර්ය බලයෙන් විදුලිය උත්පාදනය කරගෙන ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ නොවී ඔක්සිජන් යන්ත්‍රය ක්‍රියා කිරීමට අවශ්‍ය කටයුතු අප සම්පාදනය කර දුන්නා. යම් දිනෙක ජාතික විදුලි පද්ධතිය අක්‍රිය වුවත් ඔක්සිජන් යන්ත්‍රය ක්‍රියාත්මක කළ හැකියි. ඒ තුළින් මල්ෂාන් දරුවාගේ ජීවිතය සුරක්‍ෂිත කිරීමට අපට හැකි වුණා. නැවතත් 'මව්බිම' පුවත්පතට ස්තූතිය පුද කරනවා මෙවැනි සිද්ධියකට අපට සම්බන්ධ වීමට අවස්ථාව උදාකර දීම සම්බන්ධව.''

ආර්.ඩී. චන්ද්‍රලතා මහත්මිය අදහස් දක්වමින්,
''අපේ පුතාගේ තත්ත්වය රටටම දැනගන්න සලස්වලා අපිට උදවු කරන්න පිරිස හොයා දෙන්න කටයුතු කරපු 'මව්බිම' පත්තරේට මම ස්තූතිවන්ත වෙනවා.
පුතාගේ තත්ත්වය දැකලා දෙවිනුවරින් ආපු දෙවිවරුන්ට මම අනේක වාරයක් පින් දෙනවා. ඒ මහත්වරුන්ගේ වියදමින් මේ සෑම දෙයක්ම ලබාදුන්නා. අපිට දැන් හෙටක් පිළිබඳව හිතන්න පුළුවන්. දැන් මගේ දරුවට නිදහසේ නිදියන්න පුළුවන්. මේ දේවල් අපිට ලබාගන්න උදවු කිරීම ගැන මම 'මව්බිම'ට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම තමයි මට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා මගේ දරුවට හොඳින් උගන්න ගන්න. ඒ වෙනුවෙන් මට උදවු කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ගොඩක් පින්සිදු වෙනවා''යි ඇය පැවැසුවාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon