විගණන කෙටුම්පත පිළිබඳ අවසන් තීරණය මැයි 8 වැනිදා

  👤  3256 readers have read this article !
By mawbima 2018-04-24

ත්‍යාගා ශ්‍රී මාලී බණ්ඩාර

අප්‍රේල් මස 03 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ විගණන කෙටුම්පත පිළිබඳව අවසන් තීරණය ලබන මස 08 වැනි දින පැවැත්වෙන නව පාර්ලිමේන්තු සැසිවාරයේදී ගැනීමට නියමිතය.

විවිධ බාධක මාධ්‍යයේ මෙම විගණන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණේ 24 වැනි වතාවටයි.
ඒ අනුව විගණන කෙටුම්පත පළමුවර කියැවීමෙන් අනතුරුව මේ සම්බන්ධ විරෝධතා මතුකිරීමට ලබාදී තිබූ කාලයේදී ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය විසින් එම විගණන කෙටුම්පතේ 9 1 (අ), (ආ) සහ 13 යන වගන්ති මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 1 (ඒ) වගන්තිය මඟින් දක්වා ඇති තොරතුරු දැන ගැනීමේ නිදහස යන මූලික අයිතිවාසිකම උල්ලංඝනය වන බව දක්වමින් අධිකරණය වෙත පෙත්සමක් ගොනු කරනු ලැබීය.

එම පෙත්සම විභාග කිරීම පසුගිය 18 වැනි දින සිදුකිරීමෙන් අනතුරුව ඊට අදාළ නඩු තීන්දුව 19 වැනි දින කතානායක කරු ජයසූරිය මහතා වෙත ලබාදී තිබිණි.

එම අධිකරණයේ තීරණය කතානායකවරයා විසින් 8 වැනිදා රැස්වීමට නියමිත නව පාර්ලිමේන්තු සැසිවාරයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
මෙම විගණන කෙටුම්පතේ අඩංගු 9 සහ 13 වගන්ති තුළින් මහජනතාවට ලබාදී තිබෙන තොරතුරු දැන ගැනීමේ අයිතිය උල්ලංඝනය වන බවට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය මඟින් ගොනු කළ පෙත්සම මඟින් දක්වා තිබෙන්නේ එම වගන්ති දෙකට අනුව විගණකාධිපතිවරයා සතු විගණන තොරතුරු සහ විශේෂ වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන තුරු වෙනත් කිසිදු පාර්ශ්වයකට එම තොරතුරු ලබාදීමට නොහැකි බවට දක්වා තිබීම නිසාය.

කෙසේ නමුත් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට අනුව විගණකාධිපතිවරයාටද එම තොරතුරු ලබාදීමට නොහැකිය. මේ හේතුවෙන් ජනතාවට යම් තොරතුරක් ලබා ගැනීමට ඉතා දීර්ඝ කාලයක් බලා සිටීමටද සිදුවේ.

එසේ වුවද තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කර ඇති පනතෙහි අඩංගු තොරතුරු ලබා ගැනීමේදී දක්වා ඇති සීමාවන් යටතේ විගණකාධිපතිගේ තොරතුරු ලබාගැනීමට නොහැකි බවටද දක්වා නැත.

මේ අනුව බලන විට මැයි 8 වැනි දින රැස්වෙන නව පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධ අධිකරණ තීරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව කෙටුම්පතේ එම වගන්ති ඉවත් කරනවාද නැද්ද යන්න තීරණය ගැනීමටත් ඉන්පසුව මේ සම්බන්ධව විවාදය පැවැත්වීමටත් නියමිතව තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon