ශෂී වීරවංශට එරෙහි රහස් පොලිසිය ගොනු කළ නඩුව විදෙස් ගමන් බලපත්‍රයේ උපන් දිනයන්හි වෙනස්කම් තිබුණත් ඛ්ධ්ච්යට පැමිණිලි කළේ නෑ හිටපු ආගමන හා විගමන පාලක චූලානන්ද පෙරේරා අධිකරණයේදී කියයි

  👤  3292 readers have read this article !
By mawbima 2018-04-24

කේ.එස්. උදයකුමාර්, කාවින්ධ්‍යා පෙරේරා

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිය වන ශෂී වීරවංශ මහත්මියට අයත් සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍රයේ සහ ඇයගේ රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයේ නම් සහ උපන් දිනයන්හි වෙනස්කම් දක්නට තිබුණත් ඒ සම්බන්ධයෙන් තමා රහස් පොලිසියට පැමිණිලි නොකළ බව හිටපු ආගමන හා විගමන පාලක චූලානන්ද පෙරේරා මහතා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් ඊයේ (23දා) ප්‍රකාශ කළේය.

මෙවැනි අඩුපාඩු සහිත අයැදුම්පත් විශාල සංඛ්‍යාවක් දිනපතා හමුවන බවත් මනුෂ්‍යත්වය ගැන සලකා ඊට අදාළව නීතිමය පියවර ගැනීම තමා විසින් සිදු නොකළ බවද සාක්ෂිකරු සඳහන් කළේය.

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජ්‍යතාත්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගත්තේ යැයි චෝදනා කරමින් ශෂී වීරවංශ මහත්මියට එරෙහිව රහස් පොලිසිය විසින් ගොනුකර ඇති නඩුවක් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදී සාක්ෂිකාර චූලානන්ද පෙරේරා මහතා මෙසේ ප්‍රකාශ කළේය.

රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි ලබාදුන් හිටපු ආගමන හා විගමන පාලකවරයා ඉකුත් රජයේ නිවාස හා ඉදිකිරීම් ඇමැති ලෙස කටයුතු කළ විමල් වීරවංශ මහතා දිනක් දුරකතනයෙන් තමා අමතා තම බිරියට රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට අවශ්‍ය බවත් ඒ සඳහා ඇය පැමිණෙන බවට දැනුම් දුන්නේ යැයි ප්‍රකාශ කළේය.
රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් - ඔබ විමල් වීරවංශ ඇමැතිවරයා හඳුනනවාද?
සාක්ෂිකරු - මා පෞද්ගලිකව හඳුනන්නේ නෑ. එහෙත් දුරකතනය ඔස්සේ මා ඔහුගේ කටහඬ හඳුනා ගත්තා.
රජයේ නි.සො.ජනරාල් - ඒ අනුව විත්තිකාර ශෂී වීරවංශ ඔබ හමුවීමට පැමිණියාද?

සාක්ෂිකරු - ඇය මා හමුවට පැමිණ රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීමට අවශ්‍ය බව දන්වා සිටියා. ඇය සතුව සාමාන්‍ය ගමන් බලපත්‍රයක් පවතින බව ප්‍රකාශ කළා. ඇයගේ සොහොයුරා වන අජිත් කුමාර නමැත්තකු පාර්ලිමේන්තුවට බෝම්බ ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධියේ සැකකරුවකු ලෙස අත්අඩංගුවට පත්වීම නිසා තමාටත් තම පවුලේ අයටත් ආරක්ෂාව අතින් විවිධ තර්ජන එල්ල වී තිබූ නිසා පළමු විදේශ ගමන් බලපත්‍රයේ නිවැරැදි තොරතුරු ඇතුළත් නොවුණු බව ඇය ප්‍රකාශ කළා. මේ හේතුවෙන් තමාට නිවැරැදි තොරතුරු ඇතුළත් කර රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීමට අවශ්‍ය බව ඇය ඉල්ලීමක් කළා.

රජයේ නියෝජ්‍ය සො. ජනරාල් - විත්තිකාරියගේ සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍රයේ උපන් වර්ෂය ලෙස සඳහන් වන්නේ කවදාද?

සාක්ෂිකරු - 1967 වසර

රජයේ නි.සො. ජනරාල් - විත්තිකාරිය විසින් රාජතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ලබාගැනීම සඳහා ඉදිරිපත් කළ අයැදුම්පතේ උපන් වර්ෂය ලෙස සඳහන් වන්නේ කොහොමද?
සාක්ෂිකරු - 1971 වසර

රජයේ නි.සො. ජනරාල් - ඉතිං මේ උපන් දින දෙක අතර වසර 04ක පැහැදිලි වෙනසක් දක්නට තිබෙනවා. මෙම වෙනස ඔබ නිරීක්ෂණය කළේ නැත්ද?

සාක්ෂිකරු - නිරීක්ෂණය කළා ස්වාමිනී, එහෙත් විත්තිකාරිය මා ඉදිරියේ ප්‍රකාශ කර සිටියා ඇයගේ සාමාන්‍ය ගමන් බලපත්‍රයේ වැරැදි තොරතුරු ඇතුළත් වන නිසා ඇයට එය නිවැරදි කරගත යුතු බව. මේ නිසා ඇයගේ පාපොච්චාරණය පිළිගෙන ඇයට රාජතාන්ත්‍රික බලපත්‍රයක් නිකුත් කරන්න මා කටයුතු කළා.

රජයේ නි.සො. ජනරාල් - ඔබ හිටපු ආගමන හා විගමන පාලකවරයා ලෙස ඉහළ තනතුරක් දරද්දී මෙවැනි වරදක් පෙනි පෙනී තිබියදී විදේශ ගමන් බලපත්‍රයක් නිතුක් කරන්න පුළුවන්ද?

සාක්ෂිකරු - ස්වාමිනී, මෙම තොරතුරුවල සත්‍යතාව පරීක්ෂා කරන්නේ මා නොවෙයි. එය සිදුකරන්නේ පහළ නිලධාරීන්. මෙවැනි අඩුපාඩු සහිත අයැදුම්පත්‍ර රාශියක් දිනපතාම දෙපාර්තමේන්තුවට ලැබෙනවා. මනුෂ්‍යත්වය ගැන සලකා මෙවැනි පුද්ගලයන්ට එරෙහිව මා නීතිමය පියවර ගන්නේ නෑ.

රජයේ නි.සො. ජනරාල් - උපන් දිනයන් සම්බන්ධයෙන් බරපතළ වෙනස්කමක් පෙනෙන්නට තිබියදී විත්තිකාරිය වෙනුවෙන් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමට ඔබ තීන්දු කළේ මනුෂ්‍යත්වයේ කවර කාරණයක් මතද?

සාක්ෂිකරු - විත්තිකාරිය මා ඉදිරියේ පාපොච්චාරණය කළා ඇයගේ සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍රයේ වැරදි තොරතුරු ඇතුළත්ව තිබෙන බව. එය සැලකිල්ලට ගෙන මට පැවරී තිබෙන බලතල ප්‍රකාරව අදාළ ගමන් බලපත්‍රය නිකුත් කරන්න මා කටයුතු කළා.

අනතුරුව සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීම ජුනි මස 08 වැනිදා දක්වා කල් තැබීමට අධිකරණය තීන්දු කළේය.

මෙහිදී විත්තිකාර ශෂී වීරවංශ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායිකාවට විදේශ ගතවීමේ අවශ්‍යතාවක් මතුව ඇති නිසා ඇය වෙනුවෙන් විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කරන ලෙස ආගමන හා විගමන පාලකවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලීමක් කළේය.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා මීට අදාළව නියෝගයක් නිකුත් කිරීමට තමාට හැකියාවක් නොමැති බව සඳහන් කළේය. විත්තිකාරියට විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් නොකරන ලෙස තම අධිකරණය ආගමන හා විගමන පාලකවරයා වෙත නියෝගයක් නිකුත් කර නොමැති බවත් ආගමන හා විගමන පනතේ ප්‍රතිපාදන හා නීති රෙගුලාසි ප්‍රකාරව විත්තිකාරියට විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කළ හැකිද? නැත්ද? යන්න තීන්දු කිරීමේ හැකියාව එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට තිබිය යුතු බවද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon