ඉඩම් ආරවුල දුරදිග ගිහින් මල්ලී අයියාට පොරොවෙන් කොටලා

  👤  3324 readers have read this article !
By mawbima 2018-04-24

උෟරුබොක්ක - අතාවුද පතිරණ

උෟරුබොක්ක පොලිස් වසමේ පට්ටිගල ප්‍රදේශයේ සහෝදරයන් දෙදෙනකු අතර ඇති වූ ඉඩම් ආරවුලක් දුරදිග යෑමෙන් බාල සහෝදරයා විසින් වැඩිමහල් සහෝදරයාට පොරවකින් කොටා බරපතළ තුවාල ලබා රෝහල් ගතව සිටි වැඩිමහල් සහෝදරයා පෙරේදා (22දා) සවස මිය ගිය බව උෟරුබොක්ක පොලිසිය පැවැසීය.

මෙසේ මියගොස් ඇත්තේ බෙරලපනාතර පට්ටිගල තෙඹුදෙණිය ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි අබේවික්‍රම විතාරණගේ ගුණපාල නමැති අවිවාහකයෙකි. එකම නිවෙසේ පදිංචිව සිට ඇති අවිවාහක අයිය - මලෝ දෙදෙනා අතර කලක සිට පදිංචි නිවෙසට සහ ඉඩමට අයිතිය පිළිබඳව ආරවුලක් පැවැති බව පවසන පොලිසිය පසුගිය 12 දින රාත්‍රි බාල සහෝදරයා විසින් වැඩිමහල් සහෝදරයාට පොරවකින් කොටා බරපතළ තුවාල සිදුකර තිබූ බව පැවැසීය. තුවාලකරු උෟරුබොක්ක ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඇඹිලිපිටිය මහ රෝහලට මාරුකර යවා එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 22 දින සවස මියගොස් ඇත. මියගිය අයියාට මල්ලී විසින් කොන්දට සහ අත්දෙකට පොරව පහරවල් 7ක් ගසා ඇති බවත් කොන්ද ප්‍රදේශයට ගසා තිබූ පොරෝ පහරවල් හේතුවෙන් බරපතළ තුවාල සිදුව තිබූ බවත් පොලිසිය පැවැසීය. තුවාලකරු දින 11ක් ඇඹිලිපිටිය මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.

පහරදීමට සම්බන්ධ බාල සහෝදරයා සැඟව සිටියදී පසුගිය අප්‍රේල් 14 දින උදේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පහරදීමට යොදාගත් පොරවද සඟවා තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබිණි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බෙරලපනාතර පට්ටිගල තෙඹුදෙණිය ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි අබේවික්‍රම විතාරණගේ පියසිරි නමැති අවිවාහක බාල සහෝදරයායි. පහරදීම සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගත් සහෝදරයා පසුගිය 15 දින මොරවක වැඩබලන මහෙස්ත්‍රාත් සුමිත් පස්ගොඩගේ මහතාට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 24 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබිණි.

උෟරුබොක්ක පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්. කේ. රුක්මන් කුමාර මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක විමලසේන, උප පොලිස් පරීක්ෂක පේමසිරි, පො.සැ. පේමරත්න (56012), පො.කො. ගුණවර්ධන (82619), පො.කො. අතාවුද (22249) යන නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි. මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත අතර සිද්ධිය වූ ස්ථානයට ස්ථානීය පරීක්ෂණය සිදු කිරීම සඳහා මොරවක මහෙස්ත්‍රාත් පැමිණීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් උෟරුබොක්ක පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon