පාර්ලිමේන්තුව නවීකරණයට වැය කරන කෝටි සියයක මුදලින් මට උදාගම් 80ක් හදන්න පුළුවන්

  👤  3353 readers have read this article !
By mawbima 2018-04-24

රටේ ජනතාවගේ හා රටේ සංවර්ධන න්‍යාය පත්‍රයේ ඉහළින්ම තියෙන්නට ඕන පාර්ලිමේන්තුව ප්‍රතිසංස්කරණය කරන්නට කෝටි සියයක් වෙන් කිරීමද එහෙම නැතිනම් මිනිසා ජීවත් කරවීමට කෝටි සියයක් වෙන් කිරීමදැයි තමන් ප්‍රශ්න කරන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස පැවැසීය.

නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන නිවාස 2500ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ ඉදිකරනු ලැබූ 57 වැනි ආදර්ශ ගම්මානය වන මිහිඳුම් ගම ආදර්ශ ගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් පසුගිය 20 වැනිදා අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

ජනහමුව අමතමින් තවදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවැසීය.

අවුරුදු පහකට වරක් අවුරුදු හයකට වරක් රටේ ජනතාව මැතිවරණවලදී තමන්ගේ ආශිර්වාදය ලබාදෙනවා. කතිර ගහනවා. මනාප ගහනවා. බුරුතුපිටින් ශක්තිය ලබා දෙනවා. ඔටුනු පලන්දනවා. තනතුරු දෙනවා. ගරු නාම ලබා දෙනවා. මේ ඔක්කොම අපට අහිමි දේවල්. ජනතාව අපිට හිමිකර දෙනවා. ඇයි එහෙම කරන්නේ. අවුරුදු පහකට වරක් අවුරුදු හයකට වරක් රටේ ජනතාව රට මුහුණ දෙන ප්‍රශ්නවලට විසඳුම් බලාපොරොත්තුවෙන් තමයි තාවකාලික භාරකාරත්වය කණ්ඩායමකට භාරදෙන්නේ.

ජනවරමින්, ජනශක්තියෙන් අපව රජ කරවනවා. ඒ රජ කරවන්නේ පොදු ජනතාවට විසඳුම් ලබා ගන්න, ප්‍රශ්නවලට පිළිතුරු ලබාගන්න, ප්‍රශ්න විසඳන්න. එහෙම නැතිව ප්‍රශ්න ඇති කරන්න නොවෙයි. ජනතාවට ප්‍රශ්න නිර්මාණය කරන්න නොවෙයි. ජනතාවට වැඩියෙන් පීඩන ලබාදෙන්න නොවෙයි. ජනතාව තවදුරටත් අසහනයට පත් කරන්න නොවෙයි.

පසුගිය දවසක මට අහන්නට ලැබුණා පාර්ලිමේන්තුව නවීකරණය කිරීම සඳහා කෝටි සියයක් මුදල් වෙන් කරන්නට යනවයි කියා. මම ජනමාධ්‍යවල දැක්කා. මේ කතාව ඇත්ත නම් මම දකිනවා ඒක ජාතික අපරාධයක් හැටියට. දැන් පාර්ලිමේන්තුව නවීකරණය කරන්නට කෝටි සියයක් වෙන් කරනවා කියන්නේ මිලියන දාහක්, ලක්ෂ දහ දාහක්, බිලියනයක්. මම නිකන් ගණන් හදලා බැලුවා ඔය කෝටි සියය මගේ අමාත්‍යාංශයට ලැබුණානම් ගෙවල් කීයක් හදන්න පුළුවන්ද කියලා. පවුල් දෙදහකට ගෙවල් හදන්න පුළුවන්. මම ගණන් හදලා බැලුවා, අපිට එක ගම්මානයකට නිවාස විසි පහ ගාණේ ගම්මාන කීයක් හදන්න පුළුවන්ද කියලා. ගම්මාන 80ක් හදන්න පුළුවන්.
මේ කෝටි සියය පාර්ලිමේන්තුව වැඩිදියුණු කරනවා වෙනුවට අපට පුළුවන් නේද බඩගින්නේ සිටින ජනතාවට කුසට ආහාරයක් ලබාදෙන්නට. පානීය ජලය නොමැති ජනතාවට දිය පොදක් ලබාදෙන්නට. විරැකියා පෝලිමේ සිටින උපාධිධාරි සහ උපාධිධාරී නොවන ලක්ෂ ගණනකට රැකියා පත්වීම් ලබා දෙන්නට. නිවෙසක් නොමැති ඉඩමක් නොමැති අසරණ ජනතාවට ඉඩම් නිවාස ලබාදෙන්නට. දුක් ගින්නෙන් කුස ගින්නෙන් පීඩා විඳින මේ රටේ පුංචි පංතියේ ජනතාවට, ගොවියාට, ධීවරයාට, කම්කරුවාට, ඒ අයගේ ජීවිත සුඛිත මුදිත කරන්නට ඒ ආධාර උපකාර ලබා දෙන්නට.

අරපිරිමැස්මෙන් මුදල් භාවිත කරන්නට ප්‍රමුඛතාව ලබා දෙනකොට මිනිසාගේ මූලික මානව අයිතිවාසිකම්වලට ඒ අරමුදල් වෙන් කරන්න ඕන.

මම අවංකවම විශ්වාස කරනවා ඔය 225ක් ඉන්න පාර්ලිමේන්තුව ප්‍රතිසංස්කරණය කරනවා වෙනුවට මේ රටේ මිනිස් ජීවිත ශක්තිමත් කරන්නට මිනිසා ජීවත් කරවීමේ අයිතිය අපි සුරක්ෂා කරන්නට ඕන. මේ කෝටි සියය කාගේ අම්මගේ අප්පගෙන් ලැබුණු බූදලයක්ද? මේවා රටේ සල්ලි. රටේ සම්පත්, බදු ගෙවන ජනතාවගේ සල්ලි. එහෙමනම් අපි වගකීම භාරගන්න ඕන. ජනතාවගේ බදු මුදල් ජනතාවගේ දුක් ගින්න නිවා ගන්න ක්‍රමයන්ට යොමු කරන්න. ජනතාව මත පීඩනය පටවනවා වෙනුවට අසහනය පටවනවා වෙනුවට ප්‍රශ්න පටවනවා වෙනුවට ජනතාව අපේ හිස මත පැලඳවූ ඒ ඔටුන්නේ නාමයෙන් ඒ කරුණාවෙන් අපි ජනතා ප්‍රශ්න විසඳන ක්‍රියාමාර්ගයකට සීග්‍රගාමීව යන්නට ඕන. වැඩි කාලයක් නැහැ. මාස 18යි තියෙන්නේ. ජනාධිපතිවරණය එනවා. මහ මැතිවරණය එනවා. එදාට තමයි ජනතාව තීන්දුව ලබා දෙන්නේ. ජනතාව තීන්දු ලබා දෙනකොට අපි මතක තබාගන්නට ඕන මේ තියෙන කාල වකවානුව තුළදී පොදු ජනතාවගේ අපේක්ෂා ඉෂ්ට සිද්ධ කරන්නට, පොදු ජනතාවගේ හඬට සවන් දෙන්න. පොදු ජනතාවගේ හදවතේ කැකෑරෙන වේදනාවට සවන් දෙනවා පමණක් නොවෙයි, ඒ පිළිබඳව කයිවාරු ගහනවා පමණක් නෙවෙයි, මේ මිනිස්සුන්ගේ ඉල්ලුමට සංවර්ධන සැපයුම් ලබා දෙන්න අපේ ආණ්ඩුව ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් අපිත් හොඳ පාඩම් රැසක් දැන් ඉගෙන ගෙන තිබෙනවා. අපි ජනතාවගේ මතයට සවන් දීලා ජනතාවගේ හඬට මුල්තැන දීලා අපේ රටේ සංවර්ධන න්‍යාය පත්‍රය අපි නිර්මාණය කරන විදිහ අපි සතුව තිබෙනවා. ලොකු කෑදරකමක්. ඒ කෑදරකම තනතුරු තාන්න මාන්න පට්ටම්වලට නොවෙයි. අපිට තියෙන කෑදරකම ඓතිහාසික, වාර්තාගත, නම යන ජනතා සේවාවක් ඉෂ්ට කිරීමයි කියන එක ප්‍රකාශ කරන්නට කැමැතියි.

හසලක - සුනිල් ඉහළගෙදර සහ
මහනුවර - නදීක දයා බණ්ඩාර

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon