1977 දී පොලිසියට නිවාඩු දුන් එජාපය විරුද්ධවාදීන්ට දඬුවම් කරන්න පොලිසියක් හදලා

  👤  3441 readers have read this article !
By mawbima 2018-04-24

එදා 1977 දී නිදහස් පක්ෂය ලැබූ පරාජයෙන් පසුව පොලිසියට සතියක් නිවාඩු දුන් එක්සත් ජාතික පක්ෂය අද ඊටත් එහා ගොස් එෆ්.සී.අයි.ඩී. කියා අලුතෙන්ම පොලිසියක් හදාගෙන රිසි සේ දේශපාලන දඩයම කරමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවැසීය.

වසර තුනකට පෙර ඇරුඹුණු ඒ දේශපාලන දඩයම අදටත් නිමා කර නැති බව පැවැසූ රාජපක්ෂ මහතා මේ අයට අවශ්‍ය වී ඇත්තේ සාධාරණ පරීක්ෂණ පැවැත්වීමට නොව පරීක්ෂණ මුවාවෙන් තමන්ට මඩ ගැසීමට පමණක් බවත් පෙන්වා දුන්නේය.

හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ හිටපු ඇමැතිවරයකු, ආණ්ඩුකාරවරයකු මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේ‍යෂ්ඨතම දේශපාලනඥයකු වූ දිවංගත රෙජී රණතුංග මහතාගේ 81 වැනි ජන්ම දින සැමරුම් උළෙලට මිනුවන්ගොඩ, උඩුගම්පොළදී පෙරේදා (22දා) සහභාගි වෙමිනි.

රාජපක්ෂ මහතා එහිදී මෙසේද ප්‍රකාශ කළේය.

අපේ යම් මිත්‍රයකු අමාරුවේ වැටුණු අවස්ථාවල මඟහැර නොගිය මිත්‍රයකු ලෙස රෙජී අපගේ ගෞරවාදරයට පාත්‍ර වෙනවා.

එවන් පුද්ගලයකුගේ පුත්‍රයකු වශයෙන් ප්‍රසන්න මන්ත්‍රිතුමා අපත් සමඟ අත්වැල් බැඳගෙන ජනතාවත් සමඟ එකට කටයුතු කිරීම ගැන අපි සතුටු වෙනවා.

බඩු මිල පහළ ගියත්, අද මිනිස්සුන්ගේ අතේ බඩු මිලදී ගන්න තරම් මුදල් නැති එක තමයි ප්‍රශ්නය වෙලා තියෙන්නේ. එවන් තත්ත්වයකට මේ ආණ්ඩුව අද රට ඇද දාලා ඉවරයි. අපේ කාලයේ මිනිස්සුන්ගේ අත්වල ඕනෑ තරම් මුදල් ගැවසුණා.

මිනිස්සු කාර්, ලොරි, වෑන්, ටිපර් රථ මිලදී ගත්තා. අද මිනිස්සුන්ගේ අත්වල සල්ලි නැති නිසා ඒවායින් අෑත් වෙලා. අද විවිධාකාර බදු පනත් ගෙනත් ජනතාව පීඩනයට පත් කරන්නට සූදානම් වෙනවා. අපි විශ්වාස කළේ රටේ ව්‍යාපාරිකයන්, ධනවතුන්ට ගොඩනැඟෙන්නට දීලා ඔවුන්ගෙන් බදු අය කරගැනීමේ ප්‍රතිපත්තියයි. මල නොතළා රොන් ගන්නවා වගේ බදු අය කරගැනීමයි අපි අනුගමනය කළේ.

නමුත් මේ ආණ්ඩුව කරන්නේ ඒකේ අනෙක් පැත්තයි. මල තළලා දාලා රොන් ගන්නවා වගේ ජනතාව තළලා පෙළලා දාලා බදු අයකර ගැනීම තමයි මේ අයගේ ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ. වයස අවුරුදු 18ට වැඩි සියලු දෙනාටම බදු ෆයිල් ඇරලා. ඒ තරුණ තරුණියන් මිලදී ගන්නා ඔරලෝසුවේ සිට සියලු දේවල් ගැන හාරාඅවුස්සන්නට මේ අය උත්සාහ දරමින් සිටිනවා.

පන්සලේ පින්කැටයටත් බදු ගහන ආණ්ඩුවක් තමයි අද තියෙන්නේ. දඹදෙණිය විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක් ඊයේ මාව මුණගැහෙන්නට ආවා. උන්වහන්සේ කිව්වා මීට ඉස්සර සංචාරකයන් විහාරස්ථානය නරඹන්නට ආවාම ලැබුණු ආදායම පන්සලට ලැබුණා කියලා. දැන් ආණ්ඩුව ඒ මුදලුත් උදුරගෙන කියලා.

ආණ්ඩුවම කියනවා වැසිකිළි, කැසිකිළි නැති පන්සල් 1,900ක් රට පුරා තියෙනවා කියලා. ඒ කියන ගමන් මීට පස්සේ වැසිකිළි, කැසිකිළි නැතිනම් පන්සල් හදන්න දෙන්නේ නැහැ කියලත් කියනවා. දැන් පන්සලක් හදන්නත් අර කමිටුවෙන්, මේ කමිටුවෙන් අවසර ගන්න වෙලා. පන්සලක් හදන්න තීන්දු කරලා මේ කියන කමිටුවලින් අවසර අරගෙන එනකොට වෙන්න ඕනේ හරිය වෙලා ඉවරයි.

විපක්ෂයේ ඉන්න අපිත් ජනතා ප්‍රශ්න අමතක කරලා ආණ්ඩුව දෙන මාතෘකාවලට අහුවෙලා ඒවා පස්සේ දුවනවා. ආණ්ඩුව අපිට එක එක ගුළි එවනවා. පසුගිය කාලයේම අපි අර්ජුන් ඇලෝසියස් ගැන කතා කළා. අද ඒක අමතක කරලා ව්‍යවස්ථාව ගැන කතා කරනවා. අපි බෙදිලා අපේ අදහස් කියාගන්නවා. අපි මොකටද කලබල වෙන්නේ? තව මේවට කල් තියෙනවා.

ගම්පහ - කේ.ඒ. සිසිර, යක්කල - රජිකා චන්ද්‍රමාලිත

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon