යුද හා නාවික කණ්ඩායම් සමස්ත කාන්තා හා පිරිමි ශූරතා දිනාගනී

  👤  3183 readers have read this article !
By mawbima 2018-04-24

සඳරු පෙරේරා

ශ්‍රී ලංකා ඔරු පැදීමේ සංගමය විසින් 33 වැනි වරටත් සංවිධානය කරන ලද ජාතික ඔරු පැදීමේ ශූරතා තරගාවලිය පසුගියදා නිමාවට පත්වූයේ 'ජෙරී සිල්වා කුසලානය' සඳහා වූ සමස්ත පිරිමි ශූරතාව ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායමටද, 'දේව හෙන්රි කුසලානය' සඳහා වූ සමස්ත කාන්තා ශූරතාව ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමටද හිමිකර දෙමිනි.

දියවන්නා ඔරු පැදීමේ මධ්‍යස්ථානයේදී පැවැති මෙම තරගාවලියේදී නැවියන් නව ජාතික තරග වාර්තාවක්ද පිහිටුවීමට සමත් වූ අතර නාවික හා යුද හමුදා කණ්ඩායම් පසුගිය වර ජාතික ඔරු පැදීමේ තරගාවලියේදි හිමිකර ගත් සමස්ත පිරිමි හා කාන්තා ශූරතාවන් මෙවර තරගාවලියේදී රැක ගැනීමට සමත් වීමද කැපී පෙනිණි.

'අර්නි විජේසිංහ කුසලානය' වෙනුවෙන් පැවැති අවුරුදු 18න් පහළ පිරිමි ඉසව්වේ පසුගියවර ශූරතාව හිමිකර ගත් ආනන්ද විදුහල් කණ්ඩායම වෙතින් මෙවර ගිලිහී ගිය ශූරතාව ලබා ගැනීමට කොළඹ රාජකීය විදුහල් කණ්ඩායම සමත් විය. එහි කාන්තා අංශයේ ශූරතාව නැවතත් තමන් සතු කරගනිමින් 'ෆිල්පර් කුසලානය' හිමිකර ගන්නට කොළඹ කාන්තා විද්‍යාලය සමත් වී තිබිණි.

අවුරුදු 18න් ඉහළ පිරිමි ශූරතාව සඳහා වන 'පර්සි ප්‍රනාන්දු අනුස්මරණ කුසලානය' හා එම අංශයේ කාන්තා ශූරතාව වෙනුවෙන් පිදෙන 'ජේ.එම්.පෙරේරා අනුස්මරණ කුසලාන' යුගළයම හිමිකර ගන්නට ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම් සමත් විය. පසුගියවර එම ඉසව්වේ පිරිමි ශූරතාව හා කාන්තා ශූරතාව හිමිකර ගනු ලැබුවේ කොළඹ රාජකීය විදුහල සහ කොළඹ කාන්තා විදුහල විසිනි. කෙසේ වෙතත් පාසල් අංශයේ තරගවලදී රාජකීය විදුහලේ ගවිත් කුරුප්පු විසින් බාලක කේවල ශූරතාවද මියුසියස් විදුහලේ හෂිනි හෙට්ටිගොඩ විසින් බාලිකා කේවල ශූරතාවද දිනාගන්නා ලදී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon