දඹුල්ලට ජයගන්න පහසු ඉලක්කයක්

  👤  3308 readers have read this article !
By mawbima 2018-04-24

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පළාත් සිවු දින සුපිරි ක්‍රිකට් තරගාවලියේ කොළඹ කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර තරගයේ තුන්වැනි දිනය වූ ඊයේ (23දා) තරගය නතර කරන විට ලකුණු 203ක ඉලක්කයක් හඹා යමින් සිටි දඹුල්ල කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 43ක් ලබා සිටී. තවද ගාල්ල කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර තරගයේ තුන්වැනි දිනය වූ ඊයේ තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ගාල්ල කණ්ඩායම කඩුලු 7කට ලකුණු 298ක් ලබා සිටී.

රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන කොළඹ කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර තරගයේ පළමුව පන්දුව පහරදුන් කොළඹ කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 210කට දැවී ගියේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල කණ්ඩායම සියලු දෙනා දැවීගොස් ලකුණු 359ක් ලබා ගත් අතර මෙම තරගයේ තුන්වැනි දිනය වූ ඊයේ කොළඹ කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 351කට සීමා විය. එහිදී ෂෙහාන් ජයසූරිය ලකුණු 77ක්ද ළහිරු තිරිමාන්න සහ වනිඳු හසරංග ලකුණු 52ක බැගින් ලබා ගත් අතර පන්දු යැවීමේදී දඹුල්ල කණ්ඩායමේ ජෙෆ්රි වැන්ඩෙසේ ලකුණු 101කට කඩුලු 4ක් දවා ගත්තේය.

හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ගාල්ල කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර තරගයේ පළමුව පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් සියලුදෙනා දැවීගොස් ලකුණු 425ක් ලබා ගැනීමට සමත් විය.

මහනුවර කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 185කට සීමා විය. කෙසේ වෙතත් ඊයේ දිනයේ සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ගාල්ල කණ්ඩායමේ උපුල් තරංග ලකුණු 103 කට දැවී ගියේය. රොෂේන් සිල්වා නොදැවී ලකුණු 88ක් ලබා ගෙන කඩුල්ලේ රැඳී සිටී. පන්දු යැවීමේදී මහනුවර කණ්ඩායමේ චාමික කරුණාරත්න ලකුණු 61කට කඩුලු 3ක් දවා ගත්තේය.

ලකුණු සාරාංශය

කොළඹ සහ දඹුල්ල කණ්ඩායම් අතර තරගය
කොළඹ පළමු ඉනිම _ 210
දඹුල්ල පළමු ඉනිම - 359
කොළඹ දෙවැනි ඉනිම - 351 (ෂෙහාන් ජයසූරිය 77, ළහිරු තිරිමාන්න 52, වනිඳු හසරංග 52, ජෙෆ්රි වැන්ඩෙසේ 101/4, සචිත්‍ර සේනානායක 78/2)
දඹුල්ල දෙවැනි ඉනිම _ 43/0
ගාල්ල සහ මහනුවර කණ්ඩායම් අතර තරගය
ගාල්ල පළමු ඉනිම _ 425
මහනුවර පළමු ඉනිම _ 185
ගාල්ල දෙවැනි ඉනිම - 298/7 (උපුල් තරංග 103, රොෂේන් සිල්වා නොදැවී 88, චාමික කරුණාරත්න 61/3, ළහිරු සමරකෝන් 56/2)

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon