රාජකීය පිල පළමු කඩුල්ල පනී

  👤  3272 readers have read this article !
By mawbima 2018-04-24

මහනුවර ත්‍රිත්ව විදුහල් කණ්ඩායම 39-07ක් ලෙස පහසුවෙන් පරාජයට පත්කළ කොළඹ රාජකීය විදුහල් කණ්ඩායම බ්‍රැඩ්බි පලිහ වාර්ෂික රග්බි තරගාවලියේ පළමු අදියරේ ජය හිමිකර ගත්තේය.

කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති මෙම තරගයේදී 15 වැනි විනාඩියේදී සසිත සියාත් ලබාගත් උත්සාහක දිනුමෙන් ලකුණු ලබාගැනීම ආරම්භ කළ රාජකීය විදුහල් කණ්ඩායම පළමු භාගය වනවිට 19-00ක් ලෙස ඉදිරියෙන් සිටීමටද සමත් විය.

දෙවැනි භාගයේදීත් තම ග්‍රහණය බුරුල් නොකළ රාජකීයයන් තවත් උත්සාහක දිනුම් 3ක් ලබාගත් අතර, ඒ අනුව ඔවුන් ලබාගත් ලකුණු 39 වෙනුවෙන් ගෝල දිනුම් තුනක්, උත්සාහක දිනුම් තුනක් හා එක් දඬුවම් පහරක් ඇතුළත්ව තිබිණි. ත්‍රිත්ව කණ්ඩායම එක් ගෝල දිනුමක් සාර්ථක කරගෙන තිබිණි.

එහිදී රාජකීය කණ්ඩායමේ ජනිඳු දිල්ෂාන් උත්සාහක දිනුම් දෙකක්ද, සසිත සියාත්, බිම්සර ඉඳුවර, මලීෂ මධුමීවන්, හිමන්ත හිරුෂාන් එක් උත්සාහක දිනුම බැගින්ද ලබාගත්තේය.

මේ අතර දෙපිළ අතර පැවැත්වෙන බ්‍රැඩ්බි පලිහ දෙවැනි අදියරේ තරගය මැයි මස 5 වැනිදා පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

කෙසේ වෙතත් මෙම ජයග්‍රහණයත් සමඟින් කොළඹ රාජකීය විදුහල් කණ්ඩායම සිංගර් පාසල් රග්බි තරගාවලියේ "ඒ" කොටසේ තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම බවට පත්ව සිටින්නේ තරග පහකට සහභාගි වී එම තරග සියල්ලම ජයගනිමිනි.

ඡායාරූපය _තිළිණ ප්‍රනාන්දු

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon