පෘථිවියට සමාන ලෝකයන් සොයා ‘ටෙස්’ ගමන් අරඹයි

  👤  3162 readers have read this article !
By mawbima 2018-04-17

රෝහණ බමුණු ආරච්චි

පෘථිවියට සමාන ජීවයක් පැවතිය හැකි යැයි අපේක්ෂා කරන ග්‍රහ ලෝකයන් සොයා නාසා ආයතනය විසින් 'ටෙස්' නමැති ගවේෂණ යානයක් අභ්‍යවකාශයට මුදාහරියි.
මෙම ගවේෂණ යානය මඟින් නව ග්‍රහලෝක විසිදහසක් පමණ නිරීක්ෂණය කිරීමට අපේක්ෂා කරන අතර ඒ තුළින් පෘථිවියට සමාන ග්‍රහලෝක පන්සියයක් පමණ සොයා ගැනීමට හැකිවේ යැයි විද්‍යාඥයන් අපේක්ෂා කරයි.

සංචරණ, ග්‍රහලෝක සමීක්ෂණ චන්ද්‍රිකාව යන තේරුම් ඇතිව යොදන ලද 'ටෙස්' යන කෙටි නාමයෙන් හඳුන්වන නව ගවේෂණ යානය මඟින් ඉදිරි වසර දෙකක කාලය තුළදී අභ්‍යවකාශයේ ඇති දීප්තිමත් තාරකා දෙලක්ෂයකට වැඩි ප්‍රමාණයක් වටා ඇති ග්‍රහලෝක ගවේෂණයට සහ පරීක්ෂාවට ලක් කිරීමට නියමිතව ඇත.

'ටෙස්' ගවේෂණ යානය පුළුල් අධෝරක්ත කැමරා හතරකින් සමන්විත වන අතර කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂයට වඩා හාරසිය ගුණයකින් විශාල ප්‍රදේශයක් එක්වර ආවරණය කළ හැකි බව විද්‍යාඥයන් පෙන්වා දෙයි.

විද්‍යාඥයන් පවසනුයේ කෙප්ලර් දුරේක්ෂයෙන් මිනිත්තු තිහක කාලයකදී තාරකා එක් ලක්ෂ හැත්තෑ දහසක් දෙස බැලීමට හැකියාව තිබූ අතර නව ගවේෂණ යානය මඟින් මිනිත්තු තිහක කාලයකදී තාරකා මිලියන තිහත් පනහත් අතර ප්‍රමාණයක් බැලීමට හැකියාව ඇති බවයි.

කෙප්ලර් දුරේක්ෂය මඟින් නව ග්‍රහලෝක සොයාගත්තද ඒවායෙහි ගවේෂණ කටයුතු කිරීම දුර්වල තත්ත්වයක පැවතීම හේතුවෙන් නව ගවේෂණ යානය නිර්මාණය කළ බව නාසා ආයතනය පවසයි.

ස්පේස් එක්ස් ආයතනයේ ෆෝල්කන් - 9 රොකට් යානයෙන් උඩු ගුවනට ගෙන ගිය 'ටෙස්' ගවේෂණ යානය ඇමෙරිකානු ඩොලර් මිලියන තුන්සිය තිස් හතක් වියදම් කර නිෂ්පාදනය කළ බව නාසා ආයතනය පවසයි.

'ටෙස්' ගවේෂණ යානය ඇමෙරිකානු වේලාවෙන් ඊයේ (සඳුදා) පස්වරු 6.32ට ෆ්ලොරිඩාහි කැනවරල් තුඩුවෙන් උඩුගුවනට යොමුකර ඇත.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon