අලුත් අවුරුද්දට සූදානම් වෙමින් ඉද්දී අලියා ගෙදරට පහර දුන්නා

  👤  3152 readers have read this article !
By mawbima 2018-04-17

සිංහල අලුත් අවුරුද්දට මුළු රටම සූදානම්ව සිටින අවස්ථාවේ අංක 36, මහගල්වැව, සූරියවැව පදිංචි ධර්මසේන මහතාගේ පවුලේ උදවියට ඒ අලුත් අවුරුදු සිරිය විඳ ගැනීමට අවස්ථාව නොලැබුණු ශෝචනීය පුවතක් අපට වාර්තා විය. එහෙත් මේ පිරිසට අවුරුදු සිරිය විඳ ගන්නවා වෙනුවට පණ කෙන්ද බේරා ගැනීමේ සටනක නිරත වන්නට වූයේ පරණ අවුරුදු දා (13දා) රාත්‍රියේ කිසිවකුත් නොසිතූ අයුරින් ගමට කඩාවැදුණු වන අලියකු ධර්මසේන මහතාගේ නිවෙසට පහරදීමත් සමඟය.

තමන් මුහුණදුන් ඒ බිහිසුණු අවස්ථාව විස්තර කළ ජේ.ඒ. ධර්මසේන මහතා 14 වැනිදා අවුරුදු නිසා අපේ ගෙදර කට්ටිය 13 රෑ ඒකට අවශ්‍ය වැඩ කරගෙන හිටියේ. නෝනා මට කිව්වා කිරි උතුරවන්න ළිප් ගල් තුනක් ගේ ඇතුළෙන් ගෙනත් තියන්න කියලා. ඒකත් ගේ ඇතුළෙන් ගෙනත් තියලා තිබුණේ. නෝනා කුස්සියේ පොඩි පොඩි වැඩ කළා. ඒ වෙලාවේ ගේ පිටිපැත්තෙන් සද්දයක් ඇහුණා. ඒ වෙනකොට වෙලාව රෑ 10.30ට විතර වගේ ඇති. ළමයි නිදාගෙන හිටියේ. මං එබිලා බලනකොට අලියෙක් ඇවිත් ගේ කඩන්න හදනවා. කරන්න දෙයක් තිබුණේම නෑ. ගේ ඇතුළේ මැරෙන්න බැරි නිසා මං දරුවොයි නෝනයි එක්ක ගේ පිටුපස ‍ෙදාරෙන් පැනලා පාර පැත්තට ගිහින් හයියෙන් කෑගැහුවා. එතකොට ගමේ අය එතනට දුවගෙන ආවා. ඒ ඇවිත් අලියා එළවන්න හැදුවා. නමුත් හරි ගියේ නෑ. ගේ කඩලා ගේ ඇතුළෙ තිබුණු වී ටිකත් කාලා විනාඩි 45ක් විතර අලියා ගේ ළඟට වෙලා හිටියා. අලියා ආව වෙලාවේ මං වනජීවී එකට කෝල් එකක් දුන්නා. ඒ වෙලාවේ වනජීවී එකේ අය කිව්වා දැන් රෑ වෙලා නිසා එන්න වාහනයක් නෑ කියලා. මා කිව්වා ගේ කඩලා වී ටිකත් කනවා. මේ අලියා එළවලා දෙන්න කියලා. නමුත් වනජීවී එකේ අය ඒක ගණන් ගත්තේ නෑ. ගෙවල් ඇතුළේ වී ගබඩා කරගෙන ඉන්නකොට කොහොමත් අලි කනවා තමයි කිව්වා. අලි එළවන්න එන්න කිව්වම වනජීවී එකේ අය කිව්වේ ඔන්න ඔය කතාව තමයි. අලියෙක් මිනිහෙක් මරන්න හදනවා කිව්වට එන්නේ නැති වුණාට කැලේ මිනිහෙක් ගහක් කපනවා කිව්වොත්, අලියෙක් මැරිලා කිව්වොත් නම් ඉක්මනට එනවා. ඒ ඇවිත් නීතියත් අකුරටම කරනවා. ග්‍රාම සේවක රාලහාමි ඇරුණම කවුරුවත් මේවා ගැන හොයා බලන්න මේවට එන්නේ නෑ. අපි හැමදාමත් අසරණයි. අවුරුදු සමරන්න හිටිය අපිට අන්තිමට සිද්ධ වුණේ ගහක් යටට වෙලා ඉන්නයි. මේවා ගැන වහාම බලධාරීන් සොයා බලන්න කියලයි අපි ඉල්ලන්නේ.

එම්. චානිකා මහත්මිය
මං කුස්සියේ පොඩි පොඩි වැඩ ටිකක් කර කර හිටියේ. මහත්තයත් ගේ ඇතුළෙ හිටියා. ළමයි නිදාගෙන හිටියේ. ගේ ඉස්සරහින් සද්දයක් ඇහුණා. මහත්තයා ‍ෙදාර ටිකක් ඇරල බලනකොට ගේ ඉස්සරහ අලියා. මහත්තයා මට ඇවිත් කිව්වා "නෝනා ගේ ඉස්සරහ අලියා ඉන්නවා" කියලා. අපිට කර කියාගන්න දෙයක් නැති නිසා දරුවොත් අරගෙන අපි පස්සේ ‍ෙදාරෙන් පැනලා පාරට දිව්වා. ඒත් එක්කම අලියා ගේ බිත්තිය බිමට පෙරළුවා. මහත්තයා අවුරුද්දට දරුවන්ට පත්තු කරන්න ගෙනාව රතිඤ්ඤා පෙට්ටියක් අරගෙන අපේ පස්සෙන් දුවගෙන ආවා. පාරට ඇවිත් අපි හයියෙන් කෑගැහුවා. ගමේ අයත් එතැනට ආවා. දරුවන්ට අවුරුද්දට ගෙනත් දුන්න රතිඤ්ඤා පෙට්ටිය ඉවරවෙනකම්ම අලියට පත්තු කරලා දැම්මත් අලියා හෙළවුණේවත් නෑ. බිත්තිය පෙරළලා ගේ ඇතුළේ තිබුණු වී ටික කෑවා. අවුරුදු සමරන්න හිටිය අපිට තව ඩිංගෙන් වෙන්නේ ගේ ඇතුළෙම අලියට බිලි වෙන්නයි. වනජීවී එකේ අය කියනවා ගෙවල් ඇතුළෙ වී තියාගත්තම කොහොමත් අලි එනවාලු. කන්න ගෙනා වී ටික ගේ ඇතුළේ තියාගෙන්නේ නැතිව ගබඩාවල තියාගන්නද? මේ අය කියන්නේ. දරුවොත් නිතරම ගෙදර ඉන්නේ නෑ. අම්මේ මෙහෙට නිතරම අලි එනවා ගෙදර ඉන්න බයයි කියලා ගොඩක් දවස්වලට දරුවෝ අම්මලගේ ගෙදර යනවා නිදාගන්න. දැන් යන්තම් හරි ඉන්න තියෙන ගේත් අලි කැඩුවා. අපිට යන්න කියලා වෙන තැනක් නෑ. මං දරුවෝ දෙන්නා නිදාගෙන හිටිය කාමරේට ගිහින් දරුවෝ දෙන්නා ගන්නකොටම අලියා ඒ ගෙයි ජනේලෙට ගැහුවා. ගමේ අයත් නොහිටින්න අලියා මුළු ගේම කඩනවා. මේවට ඉක්මනින් විසඳුමක් දුන්නේ නැතිනම් ජීවිත දෙක තුනක් වන අලින්ට බිලිවීම අත ළඟයි. බලධාරීන් මේ ඉන්නේ ජීවිත නැති වෙනකම්ද? වගකිවයුත්තන්ගෙන් අපි ඉල්ලනවා ඉක්මනට වන අලි ගම්වැදීම නැවැත්වීමට ශක්තිමත් විදුලි වැටක් ඉදිකර දෙන්න කියලා.

ජී.කේ. සුනිල් මහතා
අලුත් අවුරුද්ද ලබන්න ඔන්න මෙන්න තියෙද්දිත් මේ ගමේ වන අලි කරක්ගහනවා. මිනිස්සු හරිම බයෙන් තමයි රෑට ජීවත් වෙන්නේ. කවුරුවත් මේවා ගැන හොයා බලන්නේ නෑ. 13 රෑ තව ටිකෙන් මේ පවුලක්ම අලියා ගේ ඇතුළේ මරා දමනවා. ඒ මිනිස්සු පිටුපස ‍ෙදාරෙන් පැනලා ඇවිත් කෑගහපු නිසා අපි ගමේ අය එකතු වුණා. ඒ නිසා මේ අයගේ ජීවිත බේරුණා. නැති වුණා නම් වෙන්නේ මේ ගමේ අයට අවුරුදු සමරනවා වෙනුවට මළගෙදරකට සූදානම් වෙන්නයි. මේ පැතිවල ඉන්න අපි ගොවිතැනක් කුලියක් කරගෙන ජීවත් වෙන්නේ. මේ ඉන්න අපි ගෙයක් හදාගන්න පුදුම තරම් දුකක් වින්දා. නමුත් අලි ඇවිත් එක රැයට ගේ පෙරළලා දමනවා. ඉතින් අපි කොහොමද මේක ඉවසන්නේ. රැයකට ලෙඩක් දුකක් වුණත් අපි එළිවෙනකම් ඉන්නවා. පාරක තොටක රෑට යන්න විදියක් නෑ. අලි කොහේ ඉන්නවද දන්නේ නැති නිසා. කරන්ට් වැටකුත් තියෙනවා. නමුත් වැඩක් නෑ. ඒක නමට විතරයි තියෙන්නේ. අලුත් අවුරුද්දෙයි කියලා අපිට රෑට නෑදෑ ගෙදරකට යන්න විදියක් නෑ. කියන්න කෙනෙක් නම් නෑ අපේ දුක ගැන. දෙවියන්ට තමයි දැන් අපේ දුක කියන්න වෙලා තියෙන්නේ.

මත්තල - ඩී.එන්. ජයසේකර

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon