කිලෝ 40ක් පමණ බරැති බුදු පිළිමයක් ගාල්ලේ කිමිඳුම්කරුවකුට හමුවෙයි

  👤  3168 readers have read this article !
By mawbima 2018-04-17

ගාල්ල - එච්. පරණවිතාන

ගාල්ල කොටුව ආසන්න මුහුදේ ගිලී තිබී කිලෝ 40කට වැඩි බරක් සහිත පිළිමයක් සොයා ගැනීමට කිමිඳුම්කරුවකු සමත් වී ඇත.

ගාල්ල කොටුව ආසන්න මුහුදේ ගල් මල් නැරඹීමට නිතර පැමිණෙන කරාපිටිය ජස්ටින්කන්ද ප්‍රදේශයේ පදිංචි කමල් නමැති තරුණයකු සමඟ පැමිණි ඔහුගේ මිතුරකුට මෙම පිළිමය හමුවී තිබේ. මෙම පිළිමය මුහුදු වෙරළේ සිට අඩි 150-200 පමණ දුරකින් පැහැදිලි මුහුදේ මතුපිට සිට අඩි 5-10 පමණ ගැඹුරකින් මතුව තිබූ බව පවසයි.

පිළිමය දුටු වහාම තමන්ට බයක් දැනුණු බවත් ගොඩබිමට ගොස් ටික වේලාවකට පසු ඇතිවූ කුතුහලය මත නැවත සිය මිතුරා සමඟ කිමිදී පිළිමය ගොඩට ගත් බව කමල් අප සමඟ පැවැසීය. දියේ සිට මුහුදු වෙරළට ගෙන ඒමේදී එතරම් බරක් ජලයේදී නොදැනුණත් මුහුදු වෙරළට ගැනීමට තමාට සහ මිතුරාට වෙහෙසක් දැරීමට සිදුවූ බව පවසයි.

මුහුදු වෙරළේ සිටම 119 දුරකතනයට ඇමතීමක් ගත්තත් එයට ප්‍රතිචාරයක් නොලද හෙයින් පිළිමය අමාරුවෙන් ගාල්ල කොටුව තුළ පිහිටි සුධර්මාලය පන්සලට ගෙනැවිත් එහි නායක හිමියන්ට භාරකර පොලිසියට සහ පුරාවිද්‍යා අංශ දැනුවත් කරන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලා සිටි බවද පිළිමය සොයාගත් කමල් මහතා අප සමඟ පැවැසීය.


මේ පිළිමය උඩුකය පමණක් සිටින සේ නිර්මාණය කරන ලද එකක් වන අතර එයින් නිරූපණය කර ඇත්තේ බෝසත් රුවක්ද එසේ නැත්නම් වෙනත් දෙවි කෙනකුගේ රුවක්ද යන්න පිළිබඳව එය නැරඹීමට පැමිණෙන්නන් විවිධ අදහස් පළ කරන අතර මෙතෙක් පුරාවිද්‍යා අංශයේ නිලධාරියකුගේ පැමිණීමක් නොවූ බව වාර්තා වේ.
සිද්ධිය පිළිබඳව ගාල්ල පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon