කතරගම දේවාලයේ වැඩ බලන නිලමේ ධුරයේ වැඩ භාරගනී

  👤  3096 readers have read this article !
By mawbima 2018-04-17

කතරගම - කේ. ඩී. සන්දිම

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වැඩ බැලීමට බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා පත් කළ බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්ෂ මහතා ඉකුත් 12 වැනි දින පෙරවරුවේ සිය ධුරයේ වැඩ භාර ගත්තේය.

කතරගම කිරි වෙහෙර වෙත පැමිණ කිරිවෙහෙරවාසී තලගල ඥානේන්ද්‍ර හිමියන් බැහැදැක අනතුරුව අෂ්ටඵල බෝධියට ගොස් මහ දේවාලය වෙත පැමිණ දේව ආශීර්වාදය ප්‍රාර්ථනා කර ගැනීමෙන් පසුව කතරගම ශ්‍රී අභිනවාරාම විහාරාධිපති ශාස්ත්‍රපති කපුගම සරණතිස්ස හිමියන් බැහැදැකීමෙන් අනතුරුව බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්ෂ මහතා සිය ධුරයේ වැඩ භාර ගත්තේය.

බස්නායක නිලමේ වැඩ භාර ගැනීමට ගියද බස්නායක නිල කාර්යාලයේ යතුරු සියල්ලම හිටපු බස්නායක නිලමේ ගෙන ගොස් තිබූ අතර පසුව පරිපාලන ලේකම් කාර්යාලයේ ලේකම් සතු පුටුවේ හිඳ සිය වැඩ භාරගත් ලිපියට අස්සන් කිරීමට දිල්රුවන් රාජපක්ෂ මහතා ක්‍රියා කළේය.

මේ අවස්ථාවට පැමිණ සිටි රත්නපුර සහකාර බෞද්ධ කටයුතු කොමසාරිස් කේ. ඩී. එස්. කේ. කුරුප්පු මහතා විසින් හිටපු බස්නායක නිලමේ ඩී. පී. කුමාරගේ මහතා වෙත බස්නායක නිල කාර්යාලයේ යතුරු ගෙනැවිත් දෙන ලෙස ලිපියක් නිකුත් කරනු ලැබීය.
කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමිපාල ටී. රත්නායක මහතා ඇතුළු කපු මහතුන් සහකාර කොමසාරිස්වරයාට පැවසුවේ හිටපු බස්නායක නිලමේවරයා රත්රන් කිලෝ දහයක් පමණ ගෙන ගොස් ඇති බැවින් ඒ සම්බන්ධව සොයා බලන ලෙසයි.
දිල්රුවන් රාජපක්ෂ මහතා පැවසුවේ තමන් වැඩ බලන බස්නායක නිලමේවරයා පමණක් බවත් මෙම ස්ථානයේ වැරැදි සොයා බැලීමටවත් කිසිවකුට දඬුවම් කිරීමටවත් නොපැමිණි බවත් හිටපු බස්නායක නිලමේ ඩී. පී. කුමාරගේ මහතාගේ පරීක්ෂණ අවසන් වනතෙක් වැඩ බැලීම පමණක් කරන බවත්ය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon