විශේෂ පොලිස් රැකවරණ මැද මහින්දානන්ද එෆ්.සී.අයි.ඩී.යට

  👤  3206 readers have read this article !
By mawbima 2018-04-17

චාමර අමරසූරිය

පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවූ ඊයේ (16දා) එම කොට්ඨාසය අවට ප්‍රදේශයේම විශේෂ පොලිස් ආරක්‍ෂාවක් සපයා තිබිණි. පොලිසියට අමතරව පොලිස් කැරැලි මර්දන ඒකකද කොටුව පිහිටි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අවට ප්‍රදේශයට කැඳවා තිබෙනු දක්නට ලැබිණි. 2014 වසරේදී කැරම් සහ දාම්බෝඩ් මිලදී ගැනීමේ සිද්ධියකට අදාළව රජයේ මුදල් රුපියල් මිලියන 39ක් අවභාවිත කිරීමේ සිද්ධියට අදාළව සිදුවන විමර්ශනයකට අනුව ඊයේ පෙරවරු 10.00ට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පෙනී සිටින ලෙසට මහින්දානන්ද අලුත්ගමගේ මහතාට දන්වා තිබිණි.

වත්මන් රජය කැරම් සහ දාම්බෝඩ් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව පොදු දේපොළ පනත යටතේ තමාව අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවත් එම නිසා ඇඳුම් මල්ලක්ද රැගෙන තමා මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට පැමිණි බවත් මාධ්‍යට අදහස් දැක්වූ මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේය. පැයකට අධික කාලයක් ඔහුගෙන් ප්‍රකාශ ලබා ගත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් අනතුරුව මහින්දානන්ද අලුත්ගමගේ මහතා අත්අඩංගුවට ගෙන කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ගියහ. මන්ත්‍රිවරයාට සහාය පතමින් ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන බන්දුල ගුණවර්ධන, නාමල් රාජපක්‍ෂ, ඩී.වී. චානක ඇතුළු පිරිසක් සහ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයාගේ ආධාරකරුවන් පිරිසක් එම කොට්ඨාසය අසලට පැමිණ සිටියහ. මෙම අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා:

රාජිත සේනාරත්න අමාත්‍යවරයා බොහොම පැහැදිලිව ප්‍රකාශ කළා ඉදිරි කාල සීමාව තුළදී මෙම කටයුතු වේගවත් කරන බව. ඒ කියන්නේ පළිගැනීම, මර්දනය, තර්ජනය වේගවත් කරන බව තමයි එතුමා කැබිනට් ප්‍රකාශක ලෙස ප්‍රකාශ කෙළේ. විශ්වාසභංගයට පක්‍ෂව ඡන්ද පාවිච්චි කළ සියලු දෙනාම කුමන හෝ චෝදනා යටතේ දඩයම් කරන උත්සාහය දිගටම ක්‍රියාත්මක වෙයි. මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා පසුගිය විශ්වාසභංගයට විශාල ලෙස පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් පෙනී සිටි මන්ත්‍රිවරයෙක්. මෙම අත්අඩංගුවට ගැනීම අපි තරයේ හෙළා දකිනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon