හලාවත ‘මුතුපන්තිය’ යළි මුහුදු ඛාදනයට

  👤  3101 readers have read this article !
By mawbima 2018-04-17

හලාවත - ප්‍රසාද් පූර්ණමාල්

හලාවත මුතුපන්තිය දූපත නැවත උග්‍ර මුහුදු ඛාදනයකට නතු වෙමින් පවතී.

පෙරේදා (15දා) පෙරවරුවේ සිට මේ තත්ත්වය ඇතිවී ඇති බව වාර්තා වේ. මේ වන විට නිවෙසක් මුහුදු බත්වීම ආරම්භ වී ඇති අතර තවත් නිවාස හා දේපොළ රැසක් දැඩි අවදානම් තත්ත්වයකට පත්ව තිබේ. ධීවර කර්මාන්තයට මෙන්ම සංචාරක කර්මාන්තයටද වඩාත් යෝග්‍ය ස්ථානයක් ලෙස හඳුනාගෙන ඇති හලාවත, ආරච්චිකට්ටුව, මුතුපන්තිය දූපතේ මේ වන විට පවුල් 150කට ආසන්න පිරිසක් ජීවත් වෙති.

ඉකුත් වසරේ අග භාගයේද මේ දූපත මුහුදු ඛාදනයට ලක්විණි.

පසුගිය වසර පහක පමණ කාලය තුළ මේ දූපත අවස්ථා කීපයකදීම උග්‍ර මුහුදු ඛාදනයකට නතුවීම හේතුවෙන් පවුල් රැසකට නිවාස අහිමිවිණි. මීට යාබද පිහිටි නඟුල්එළිය දූපතටද මේ ඉරණම අත්වූ අතර ඒ හේතුවෙන් එම දූපතේ පදිංචිකරුවන් සඳහා වෙනත් ස්ථාන ලබාදීමටද රජයට සිදුවිය.

පසුගිය කාලය තුළ මේ දූපතේ මීටර් 500කට වැඩි ප්‍රමාණයක් මුහුදට සේදී ගොස් ඇති බව මේ වන විට සිදුකර ඇති පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇති බව මුතුපන්තිය ධීවර ගම්මානයේ ජීවත්වන නිහාල් කිත්සිරි මහතා පැවැසීය. මේ වන විටත් වෙරළ ආසන්නයේ පදිංචිව සිටි කීපදෙනකු තම නිවාස අතහැර වෙනත් ස්ථානවල පදිංචියට ගොස් ඇති බවද හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

අපේ ගේ යන්න තියෙන්නේ ඊළඟට. අපි කොහේ කියලා යන්නද? ඇයි බලධාරීන්ට අපේ දුක පේන්නේ නැත්තේ?' මේ දූපත ලංකා සිතියමෙන් ඉවත් වෙන දවස වැඩි අෑතක නැහැ. මේ දුක කියා පෑවේ මුතුපන්තිය දූපතේ ජීවත් වන තරුණයකු වන නිලූක්‍ෂණ මධුරංග:

නැඟෙනහිරෙන් හැමිල්ටන් ඇළටත්, බටහිරෙන් මහ මුහුදටත් කොටුවී ඇති මුතුපන්තිය දූපත ගොඩබිම හා සම්බන්ධ වන්නේ කුඩා පාලමකිනි. මෙහි වෙසෙන්නන්ගෙන් බහුතරයක් කුමන ආකාරයකට හෝ ධීවර කර්මාන්තය හා එක්ව සිටිති. ඇතැමුන් කුඩා ප්‍රමාණයේ බෝට්ටු හෝ තෙප්පම් මඟින් මුහුදට ගොස් මසුන් මරාගෙන එති. තවත් පිරිසක් මාදැල් කර්මාන්තය හා එක්ව කටයුතු කරති. මීට අමතරව ඉස්සන් හා කකුළුවන් වගා කිරීමෙන් ජීවත් වන කොටසක්ද මෙහි ජීවත් වෙති. දිනෙන් දින ඉහළ යන මුහුදු ඛාදනය නිසා තමන්ගේ බෝට්ටු සහ තෙප්පම් ගාල් කිරීමටද ස්ථානයක් නොමැති වී ඇති බව මුතුපන්තිය දූපතේදී අපට හමුවූ ධීවර සමිතියේ සභාපති රොෂාන් ප්‍රනාන්දු මහතා පැවැසීය.

'අපේ දූපතේ ඡන්ද 550ක්. ඊළඟට බාල මහලු එක්ක දහසකට ආසන්න පිරිසක් ජීවත් වෙනවා.

අපි අහන්නේ අපි මේ ලංකාවේ පුරවැසියෝ නොවේද කියලයි. මොකද අපි ඉන්නවද? මළාද? කියලා බලන්නවත් මේ පැත්ත පළාතකට කවුරුත් එන්නේ නැහැ.'
මේ අතර මෑතක සිට සංචාරක ව්‍යාපාරයකටද සුදුසු ස්ථානයක් ලෙස මුතුපන්තිය දූපත නම් කර ඇත. ඊට හේතුව වී ඇත්තේ මුතුන්තිය දූපතට ආසන්නයෙන්ම පිහිටා ඇති ආනවිළුන්දාව රැම්සා තෙත් බිම් අභය භූමියයි. ආනවිළුන්දාව රැම්සා තෙත් බිම් යනු සංචාරක පක්‍ෂීන්ගේ පාරාදීසයකි. දෙස් විදෙස් සංචාරක පක්‍ෂීන් මෙමතෙත් බිමට වාර්ෂිකව පැමිණෙයි.

මුතුපන්තිය දූපත දිගටම මුහුදු ඛාදනයට නතු වන්නේ දැනට දමා ඇති ගල්වැටි නිසි පරිදි නොදැමීම නිසා යැයි මෙහි ජීවත් වන බහුතර ධීවරයන්ගේ මතයයි.

මේ පිළිබඳ වයඹ ධීවර ඇමැති සුමල් තිසේරා මහතාගෙන් කළ විමසීමේදී කියා සිටියේ මේ පිළිබඳ වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමුකර ඇති බවයි. මීට අමතරව ජනාධිපතිවරයාගේ විදෙස් සංචාරය නිමකර පැමිණි වහාම මේ පිළිබඳ ජනාධිපතිවරයා පෞද්ගලිකවම දැනුවත් කරන බවද සුමල් තිසේරා මහතා වැඩිදුරටත් පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon