හෙරොයින් ජාවාරමකට නිවෙස වටලද්දී ගිනි අවි හා උණ්ඩ හසුවෙලා

  👤  3110 readers have read this article !
By mawbima 2018-04-17

වෙන්නප්පුව - ඇම්.ඩී. රවින්ද්‍ර

හෙරොයින් ජාවාරමක් සම්බන්ධයෙන් සිරිගම්පොළ ප්‍රදේශයේ නිවෙසක් වැටලීමේදී නිවෙසේ සඟවා තිබූ මෙරට නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක්, එම ජීව උණ්ඩ 04ක්, එම් 9 වර්ගයේ ජීව උණ්ඩ 12ක්, සෙල්ලම් පිස්තෝල 2ක් සමඟ සැකකරුවෙක් ඉකුත් 13දා වෙන්නප්පුව පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.

රක්‍ෂිත බන්ධනාගාර ගත වී ඇත්තේ ලුණුවිල සිරිගම්පොළ ප්‍රදේශයේම පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙකි.

සිරිගම්පොළ ප්‍රදේශයේ මහා පරිමාණයෙන් හෙරොයින් මත්කුඩු ජාවාරමක් සිදුවන බවට ලැබුණු තොරතුරක් අනුව මෙම වැලීම කර ඇති අතර එහිදී නිවෙස සෝදිසියට ලක්කළ පොලිසියට සැකකරුගේ ඇඳ යට සඟවා තිබූ බෝර 12 වර්ගයේ ගිනි අවිය සොයා ගැනීමට හැකි වී තිබේ.

නිවෙසේ අල්මාරියක් පරීක්‍ෂාවට ලක් කළ පොලිසියට එහි සඟවා තිබූ බෝර 12 ගිනි අවිවලට යොදන ජීව උණ්ඩ 4ක් හා එම් 9 වර්ගයේ ජීව උණ්ඩ 12ක අත්අඩංගුවට ගෙන ඇත.

මත්කුඩු ජාවාරමක් පවත්වාගෙන යන පුද්ගලයකුගේ සහායකයෙක් විදිහට සැකකරු කටයුතු කර ඇති අතර ජාවාරම්කාර සැකකරු ප්‍රදේශය හැර ගොස් සිටී. ඔහුද අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටින බව පොලිසිය කියයි.

වෙන්නප්පුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක එල්.බී. අබේරත්න මහතාගේ මූලිකත්වයෙන් දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක පියසිරි, රුක්‍ෂාන්, කොස්තාපල් රත්තනායක (58734), ශිෂාන් (77749) හා ජයසංඛ (34911) යන පොලිස් නිලධාරීහු වැටලීමට සහභාගිවී සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon