වසර 30ක් යුද්ධ කරලත් ගන්න බැරි වුණු දේවල් කොළ කෑල්ලකින් ලියල දෙන්න ඉඩ දෙන්නේ නෑ- හිටපු ජනපති

  👤  3358 readers have read this article !
By mawbima 2018-04-17

පොළොන්නරුවේ - බණ්ඩාර මුදියන්සේ

වසර තිහක් තිස්සේ යුද්ධ කර ලබා ගන්න බැරි වූ දේ කොළ කෑල්ලක අස්සන් කරලා ලබා දෙනවා නම් එයට ඉඩ දීමට නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පොළොන්නරුවේදී ඊයේ (16දා) පැවැසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවැසුවේ පොළොන්නරුව, දියබෙදුම, පැරකුම්ගම ශ්‍රී ඥානෝද්‍යාරාම විහාරස්ථානයේ පැවැති හිසතෙල් ගෑමේ පුණ්‍ය මහෝත්සවයට සහභාගි වෙමිනි. විහාරාධිපති තලංපිටියේ විජිතවංශ හිමියන්ගේ අනුශාසනා හා මඟපෙන්වීම යටතේ මෙම හිස තෙල් ගෑමේ පුණ්‍ය මහෝත්සවය සංවිධානය කර තිබූ අතර හිස තෙල් ගෑමෙන් අනතුරුව ජනතාව ඇමතූ හිටපු ජනාධිපතිවරයා මෙසේද කීය.

"අපේ සිංහල සංස්කෘතිය අනුව සිංහල අලුත් අවුරුද්ද සමරලා නැකැත් වේලාවට හිස තෙල් ගෑම අද ඉටු කරනවා. මේ සංස්කෘතික බැඳීම, සංස්කෘතික වටිනාකම් ඉදිරියට ගෙන යෑම අනාගත පරම්පරාවට දුවා දරුවන්ට මේ සිරිත් විරිත් පිළිබඳව අවබෝධයක් ලබාදීම සහ එය මතුවටත් ගෙන යෑමේ වගකීම ඔවුන්ට භාර දීමත් අපේ යුතුකමක් හා වගකීමක්. තමුන්නාන්සේලා දන්නවා මේ යුගය පිළිබඳව. මම ස්තුතිවන්ත වෙනවා ඔබට. මේ ආසනය මේ දිස්ත්‍රික්කය හැම අවස්ථාවකම ප්‍රගතිශීලීව හිතට එකඟව රට, ජාතිය ගැන හිතලා කටයුතු කරපු පිරිසක්. අපි පොළොන්නරුවේ ජයග්‍රහණය කළා. ඒක වැදගත් අවස්ථාවක් සහ පොළොන්නරුවේ ජනතාවගේ හැඟීම් පිළිබඳව ලෝකයාට දන්වන පණිවුඩයක් ඒ තුළින් ගෙනාවයි කියලා මම විශ්වාස කරන්නේ. අපි නිදහස් කර ගත්ත රට ත්‍රස්තවාදීන්ට ලබා දෙන්න පුළුවන්කමක් නෑ. ඔවුන් අවුරුදු 30ක් තිස්සේ යුද්ධයකින් ගන්නට බැරි වෙච්ච දේ කොළ කෑල්ලක අස්සන් කරලා ලබා ගන්නවා නම් ඒකට ඉඩ තියන්න පුළුවන්කමක් නෑ. සියලු ජාතීන් එකට ජීවත් වෙන්න ඕන. මේ සිංහල, දෙමළ අලුත් අවුරුද්ද සමරන්නේ මේ රටේ සියලු ජාතීන්, ආගම් භේදයෙන් තොරව මුළුමහත් ජනතාවම සුඛිත මුදිත කරන සෞභාග්‍යවත් නව වසරක් වෙන්න කියලා මම හැම කෙනකුටම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඉතාම ඉක්මනින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය පාවිච්චි කරන්න අවස්ථාව ලැබෙයි කියලා මම විශ්වාස කරනවා.

මෙම අවස්ථාවට පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රොෂාන් රණසිංහ, හිටපු පළාත් සභා මන්ත්‍රි අමරකීර්ති අතුකෝරල ඇතුළු ප්‍රාදේශීය දේශපාලනඥයෝ කිහිපදෙනෙක්ම එක්ව සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon