රජයෙන් කෙරෙන සංවර්ධන ව්‍යාපෘති ගැන ජනතාව සහභාගි නොවිමෙන් දැනුවත්වීමක් වන්නේ නෑ

  👤  3000 readers have read this article !
By mawbima 2018-04-17

වඩුමුන්නේගෙදර - තිළිණි පවිත්‍රා

පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කැකිල්ලපිටිය ග්‍රාම නිලධාරි වසමේ පවුල් 411ක් ජීවත් වෙනවා. පසුගිය කාලයේ පැවැති නියඟයටත් ඉන් පවුල් 230ක් පමණ දැඩි ලෙස මුහුණ දුන්නා. අපිට සිදුවුණා පසුගිය මාස කිහිපය තුළ ජලය ලීටර් දෙලක්ෂ පනස් දහසකට වැඩි ප්‍රමාණයක් මේ ගමට බෙදාදෙන්න. නමුත් අපිට කැකිල්ලපිටිය, ජයසිරිගම කියන මේ ගම්මානවල නැවත ජලය බෙදන්න අවශ්‍ය වෙන්නේ නෑ. අපේ ඒ කාර්යභාරය ස්ලිම්ලයින් ආයතනය සමඟ සිරස ගම්මැද්ද ඉටුකරමින් ජල ව්‍යාපෘතියක් ලබාදීලා තියෙනවා යැයි පන්නල ප්‍රාදේශීය ලේකම් සමන්ත වික්‍රමරත්න බණ්ඩාර මහතා පැවැසීය.

පන්නල ප්‍රාදේශීය ලේකම්වරයා මේ බව පැවසුවේ පන්නල, ජයසිරිගම ජනතාව සඳහා එම්. ඒ. එස්. ඉන්ටිමේට්ස් ආයතනය රුපියල් ලක්ෂ 40කට ආසන්න මුදලක් වැය කරමින් ඉදිකළ ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කරමින් පැවැති උත්සව සභාව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පන්නල ප්‍රාදේශීය ලේකම්වරයා මෙසේද කීවේය. අද මේ ගොඩනැඟිලා තියෙන්නේ සහභාගිත්ව සංවර්ධන ව්‍යාපෘතියක්. අපි රජයෙන් විශාල සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. ඒවාට රජයේ මුදල පමණයි යොදන්නේ. එම ව්‍යාපෘති කොපමණ කළත් ජනතාවට දැනෙන්නේ නෑ. එයට හේතුව තමයි ජනතාවගේ සහභාගිත්වය අඩුකම. මෙතැන තෝරගෙන තිබෙන්නේ ඊට ඉස්සරහට ගිය ප්‍රවේශයක්. ඒ අනුග්‍රහය දෙන ගමන් ජනතාවගේ සහභාගිත්වයත් ලබාගන්නවා. ඒ නිසා මේ ව්‍යාපෘතිය ආරක්ෂා කිරීමට ජනතාව බැඳී සිටිනවා. අද මේ සාමාජිකයන් සියලු දෙනා මෙහි කොටස්කරුවන් බවට පත්වී හමාරයි. එය ආරක්ෂා කිරීම ඔබගේ යුතුකමක්.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු අනෙකුත් ආගමික පූජකවරුන්ද, එම්. ඒ. එස්. ඉන්ටිමේට්ස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි සුරේන් ප්‍රනාන්දු, නිෂ්පාදන අධ්‍යක්ෂ ප්‍රියන්ත ප්‍රනාන්දු, සීමාසහිත කැපිටල් මහරාජා ආයතනයේ සමූහ අධ්‍යක්ෂ ෂෙවාන් ඩැනියෙල්, ගම්මැද්ද ජාතික සංවිධායක කෙනට් වීරක්කොඩි, පන්නල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී. කුමාරදාස, මිහිකත ප්‍රජාමූල සංවිධානයේ සභාපති අජිත් කුමාර යන මහත්වරුන් ඇතුළු ගම්වාසීහු විශාල පිරිසක් එක්ව සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon