අවුරුද්දට ගමේ ගිය අයට ආපසු එන්නට ඊයේ සිට විශේෂ බස් හා දුම්රිය

  👤  3144 readers have read this article !
By mawbima 2018-04-17

ආරියරත්න ගනේගොඩ,
ගාල්ල - තරිඳු භාග්‍ය විජේහේවා

සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට ගම්බිම් බලා ගිය අයට ආපසු රැකියා කරන ප්‍රදේශ වෙත පැමිණීමට ඊයේ (16දා) විශේෂ බස් හා දුම්රිය සේවා ක්‍රියාත්මකව පැවැතිණි.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ධාවන) පී.එම්.ආර්.ටී. චන්ද්‍රසිරි මහතාගෙන් 'මව්බිම' කළ විමසුමකදී සඳහන් කළේ ඊයේ (16දා) ධාවනය සඳහා බස් රථ 5,400ක් පමණ එක්කර තිබූ බවයි.

එය ප්‍රධාන ප්‍රාදේශීය කළමනාකරුවන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ එම කටයුතු සිදුවන බවත් මගී අවශ්‍යතාව අනුව මෙහි වෙනස්කම් සිදුවනු ඇති බවත් ඔහු සඳහන් කෙළේය.

සාමාන්‍ය මාර්ගවල ධාවනයට යොදවා තිබෙන බස්රථවලට අමතරව අධිවේගී මාර්ගවල ධාවනයට ශ්‍රී ලංගම බස් රථ 122ක් යොදවා තිබූ බවද මෙම විශේෂ සේවා ලබන 25 වැනිදා දක්වා පවත්වන බවද ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පැවැසීය.

ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයද හැකි පමණින් බස් ධාවන කටයුතු පවත්වා ගෙන ගියත් ඊයේ සම්පූර්ණයෙන්ම බස් රථ ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බවත් එහි සභාපති ගැමුණු විජේරත්න මහතා 'මව්බිම'ට කීය.

අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ මහතා පැවැසුවේ ඊයේ (16දා) පෙරවරු 08.07 බණ්ඩාරවෙල සිට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රියක් ධාවනය වූ බවයි.

ඊට අමතරව මාතරින් රාත්‍රි 7.00ට කොළඹ මරදානට විශේෂ දුම්රියක් ධාවනය කළ බවද කීය.

අද (17දා) දින පෙරවරු 7.05ට ගාල්ලෙන් දුම්රියක් ධාවනය වන අතර එය පෙරවරු 9.22ට මරදානට ළඟාවනු ඇති බවද සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon