ත්‍රිවිධ හමුදාව - පොලිසිය දිවි පරදුවට තබමින් සාමය ලබාදුන් නිසයි අද අපි අවුරුදු සමරන්නේ

  👤  3239 readers have read this article !
By mawbima 2018-04-17

අපේ රටේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක නිලධාරීන් යුද්ධයේදී දිවි පරදුවට තබමින්, පිරිසක් සදාකාලික අංගවිකල තත්ත්වයට පත්වෙමින් තවත් පිරිසක් මේ රට වෙනුවෙන් ජීවිතය පුදදෙමින් ලබා දුන් සාමය නිසා තමයි අපි අද කවුරුත් අවුරුදු සමරන්නේ, යුද්ධයකදී සාධාරණත්වයක් බලාපොරොත්තු වීමට බැහැ.

නමුත් අපේ රටේ හමුදාව තමයි යුද්ධයේදී ත්‍රස්තවාදියා කවුද කියා බලා පමණක් විනාශ කරලා දෙමළ, සිංහල, මුස්ලිම් ජනයා බේරාගත්තේ යැයි රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කතරගම ශ්‍රී අභිනවාරාම විහාරාධිපති ශාස්ත්‍රපති කපුගම සරණතිස්ස හිමියෝ පැවැසූහ.

උන්වහන්සේ මෙසේ පැවැසුවේ රණවිරු දඩයම නවතා දමන ලෙස රජයෙන් ඉල්ලා නාවික හමුදා ආබාධිත සෙබළකු වන එම්. ඩබ්ලිව්. කුමාර විසින් අප්‍රේල් 1 වැනි දින රුවන්වැලි මහා සෑය අසලින් ඇරැඹූ පාද චාරිකාව දින 16ක් පුරා සිදුකර අවසන් දින කතරගම මහා සංඝරත්නයේ ආශීර්වාදය ලබා ගැනීම පිණිස ශ්‍රී අභිනවාරාම විහාරස්ථානය වෙත පැමිණි අවස්ථාවේදීය.

එහිදී අදහස් දැක්වූ කපුගම සරණතිස්ස හිමියෝ මෙසේද පැවැසූහ.
අද සිරියාවට රසායනික ද්‍රව්‍ය යොදා පහර දෙනවා. අරාබි යුද්ධය නිසා විශාල ලෙස ළමයින් ඝාතනය වෙනවා. දිනකට 400ක් වැනි ප්‍රමාණයක් මරා දමනවා. මේ මානව හිමිකම් ආයතන, ජිනීවා ඇයි මේ රටවලට නීතිය ක්‍රියා කරන්නේ නැත්තේ, අපේ රටේ රණවිරුවන් දෙමළ ජනයාට ලේ පවා දී උපකාර කළා. ගිනි ගෙන දැවුණු යුද පිටියේ සිටි ජනයාගේ දිවි බේරුවා. දැන් යුද්ධය අවසන් වෙලා රටට සාමය උදාවෙලා තියෙනවා. දැන් විදේශීය බලවේගයන්ගේ අරමුණ ඉටු කරලා දිවි පරදුවට තබා රට බේරාගත් රණවිරුවන්ට සිදු කරන හිරිහැර නවතා දමා ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කරන ලෙස බලධාරීන් විසින් ක්‍රියා කළ යුතුයි.

එම්.ඩබ්ලිව්. කුමාර,

අද අපි අසරණ වෙලා. බටහිර බලවේගයන් හමුවේ අපේ රණවිරුවන් පාවා දෙමින් සිරගත කරනවා. ඔවුන්ට මරණ දඬුවම් ලබා දෙනවා. රණවිරුවන් කළේ ත්‍රස්තවාදීන්ගෙන් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් බේරා ගෙන සාමය උදා කරලීමයි. කොටි ත්‍රස්තයන් ළමයින් යුද්ධයට බඳවා ගෙන මානව හිමිකම් උල්ලංඝනය කළා.
අපේ රටේ සියලුම ජාතීන්ට අයත් අය අමු අමුවේ මැරුවා. අද කොටි ත්‍රස්තවාදීන්ගේ අවශ්‍යතා ඉටු කිරීමට ඇතැමුන් ක්‍රියා කරනවා. මේවා නවතා දමන ලෙස රජයෙන් ඉල්ලන්යි මම අමාරුවෙන් රුවන්වැලි සෑයේ සිට කතරගමට දින 16ක් පුරා ආවේ.

කතරගම - කේ.ඩී. සන්දිම, ඩී.එන්. කළුආරච්චි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon