ජනපති ලන්ඩන් නුවරට

  👤  3106 readers have read this article !
By mawbima 2018-04-17

අනුරාධා හේරත් ලන්ඩන් නුවර සිට...

ලන්ඩන් නුවරදී පැවැත්වෙන 2018 පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව සඳහා සහභාගි වීමට දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙරේදා (15දා) රාත්‍රියේ ලන්ඩන් නුවර හීතේ‍රා් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා විය.

අනතුරුව ජනාධිපතිවරයා නවාතැන් ගන්නා ලන්ඩන් නුවර හෝටලයේදී එරට ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩලය විසින් ජනාධිපතිවරයා මහත් හරසරින් පිළිගනු ලැබීය.

කුඩා දරු දැරියන් විසින් බුලත් හුරුලු පිළිගන්වා සාම්ප්‍රදායානුකූලව එම පිළිගැනීම සිදුවිය.

රටවල් 53ක නායකයන්ගේ සහ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව අද සිට අප්‍රේල් 21 වැනිදා දක්වා ලන්ඩන් නුවරදී පැවැත්වෙන අතර මෙවර එහි තේමාව 'පොදු අනාගතයක් වෙත' යන්නයි.

සෞභාග්‍යය, සුරක්ෂිත බව, සාධාරණත්වය, තිරසර බව යන අංශ යටතේ පොදු රාජ්‍ය මණ්ඩල සාමාජික රටවල අරමුණු සාක්ෂාත් කර ගැනීම පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු වනු ඇත.

අප්‍රේල් 21 වැනිදා දක්වා සිදු කෙරෙන ජනාධිපතිවරයාගේ නිල සංචාරය අතරතුර ඔහු බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍යවරිය වන තෙරේසා මේ මහත්මිය හමුවීමටද නියමිත අතර පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගි වන රාජ්‍ය නායකයන් කිහිපදෙනකු සමඟ සාකච්ඡා පැවැත්වීමටද නියමිතය. මෙම රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීමට අමතරව ජනාධිපතිවරයා විසින් පොදු රාජ්‍ය මණ්ඩලයීය ව්‍යාපාරික සංසදය ඇමැතීමටද නියමිතය.

පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා සම්මේලනයට මෙන්ම බි්‍රතාන්‍ය මහ රැජනගේ 92 වැනි ජන්ම දිනය නිමිත්තෙන් පැවැත්වෙන විශේෂ සැමරුම් උත්සවයකටද ජනාධිපතිවරයා සහභාගි වනු ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon