ආණ්ඩුවේත් එජාපයේත් දෙදරීම් හා ශ්‍රී ලනිපයේ අලුත් ගමනකට මුලපිරීම් නිසා මේ අවුරුද්ද අපට සුබයි

  👤  3332 readers have read this article !
By mawbima 2018-04-17

ආණ්ඩුව ශක්තිමත් නම් හා ජනතාවට මුහුණ දීමට බියක් නොමැති නම් වහාම ආණ්ඩුව විසුරුවා හැර පාර්ලිමේන්තු මැතිවරණයකට යායුතු යැයි හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ පැවැසීය.

රාජපක්ෂ මහතා එසේ පැවැසුවේ ඉකුත්දා (13දා) තංගල්ල කාල්ටන් නිවෙසේදී පැවැති දකුණු පළාත් සභා හා දකුණු පළාතේ ප්‍රාදේශීය සභාවල මන්ත්‍රිවරුන් සහභාගි වූ අවුරුදු උත්සවයට එක්වෙමිනි.

එහිදී මහින්ද රාජපක්ෂ මහතා මෙසේද කීය.

තව අවුරුදු ගාණක් ඉස්සරහට තියෙන මහ මැතිවරණය තව ඉස්සරහට ගැනීම අපේ පරමාර්ථය විය යුත්තේ. මේ ආණ්ඩුවට හයියක් තියෙනවා නම් ශක්තිමත් නම් ආණ්ඩුව ජනතාවට මුහුණ දෙන්න බය නැත්නම් එයාලා වහාම මේ ආණ්ඩුව විසිරුවලා පාර්ලිමේන්තු මැතිවරණයට යායුතු යැයි අපි සියලු දෙනාම මේ නව වසරේ බලාපොරොත්තු වෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ ලැබුවා වූ නව වසර ඉතා සාර්ථක නව වසරක් වේවායි කියලා. ඒ වගේම අපේ දේපළ විකිණීම, රටේ සම්පත් විකිණීම වහාම නතර වේවා කියලත් අපි ප්‍රාර්ථනා කරනවා.

අපිට මේ අවුරුද්ද ඉතාමත්ම හොඳ අවුරුද්දක් බවට මූලික ලක්ෂණ පහළ වෙලා තියෙනවා. මේ අවුරුද්ද ලබන්න කිට්ටු වෙනකොටම ආණ්ඩුවේ දෙදරීම විතරක් නෙවෙයි එක්සත් ජාතික පක්ෂයේ දෙදරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අලුත් ගමනකට අඩිතාලමක් වැටීම මේ සියල්ලම සිදුවුණා.

මේ අවුරුද්ද මැතිවරණ අවුරුද්දක්. පළාත් සභා මැතිවරණය එන්න තියෙනවා. මැතිවරණය දෙයිද දන්නේ නැහැ. ආපසු කල්දාන ලක්ෂණත් තියෙනවා. මුළු රටේම ප්‍රාදේශීය සභා අපිත් එක්ක ඉන්න නිසා අපිට පුළුවන් පළාත් සභා මැතිවරණය ඉල්ලලා සටන් කරන්න.

මන්ත්‍රිවරුන් සඳහා පැවැති අවුරුදු උළෙලේදී කණාමුට්ටිය බිඳීමේ තරගය මහ බැංකුව බිඳීම ලෙසත්, අලියට ඇස තැබීමේ තරගය අලියට මොළය තැබීම ලෙසත්, බැලුම් පිපිරවීමේ තරගය ගූගල් බැලුම් පිපිරවීම ලෙසත්, සැඟවුණු අමුත්තා සෙවීමේ තරගය මහ බැංකුවේ සොරා සෙවීම ලෙසත් නම් කර තිබිණි.

මෙහිදී ජයග්‍රාහකයන් සඳහා ප්ලාස්ටික්වලින් තනන ලද කුඩා ලැබ්බෝගිනි හා හෙලිකොප්ටර් මහින්ද රාජපක්ෂ හා නාමල් රාජපක්ෂ මහත්වරු විසින් ත්‍යාග ලෙස පිරිනැමීය.

තංගල්ල - සහම්පති මානගේ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon