වෙන්න යන දේවල් ගැන මම මාධ්‍යට උත්තර දෙන්නේ නැහැ: සිදු වුණාට පස්සේ කියනවා කැමැති නම් ප්‍රචාරය කරන්න

  👤  3398 readers have read this article !
By mawbima 2018-04-17

මාධ්‍යයේ වගකීම තමයි හැමදේම රටට කියන එක. ඒක තමයි මාධ්‍යයේ ජොබ් එක. නමුත් වෙන්න තියෙන දේවල් අංජනම් බලලා කීමට යෑම තුළ මේ රටේ විශාල ප්‍රශ්න ඇති වෙනවා. ඒ නිසා මම මාධ්‍යයෙන් ඉල්ලීමක් කරනවා. බොහෝම කාරුණිකව යම් කිසි දෙයක් සිද්ධ වුණාම ඒ සිද්ධිය වාර්තා කරන්න. නමුත් ඉදිරියට වෙන්න යන දේවල් ගැන මාධ්‍ය ඇහුවොත් මම වෙන්න යන දේවල් ගැන එක වචනයක් කියන්නේ නෑ. වුණාට පස්සේ කියනවා. කැමැති නම් ප්‍රචාරය කරන්න යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ වවුනියාව ඉරට්ටපෙරියකුලම ශ්‍රී ශෛලබිම්බාරාම විහාරස්ථානයේදී ඉකුත්දා පැවැති උත්සවයකදීය.
එහිදී අදහස් දැක්වූ දිසානායක මහතා මෙසේ කීය.

සුළි සුළඟක්, ගංවතුරක් එන්න තියෙනවා නම් ඒ පිළිබඳ තොරතුරු කලින් වාර්තා කරන්න. එතකොට ජනතාවට පුළුවන්කම තියෙනවා බේරෙන්න. හුළඟක්, ගංවතුරක් ගමකට එනවා නම් කලින් කිව්වාම බේරෙන්න පුළුවන්. නමුත් තමන්ට හිතෙන හිතෙන දේවලුත් වෙන්න පුළුවන් යැයි හිතෙන දේවලුත් මෙහෙම හිත හිත කියන්න ගියොත් මේ රටේ මාධ්‍ය බොහොම නරක තැනකට තල්ලු වෙනවා. ඒ වගේම ජනතාවත් අසරණ වෙනවා. ඒ නිසා මාධ්‍යයෙන් ඉතාමත් ඕනකමින් ඉල්ලා සිටිනවා දේශපාලන කාරණාවලදී යම් කිසි දෙයක් සිද්ධ වුණාට පස්සේ මෙන්න මේ දේ සිද්ධ වුණා කියලා වාර්තා කරන්න. ඒ පිළිබඳව පක්ෂව හෝ විවේචනාත්මකව කතා කරන්න. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි සිද්ධ වෙන්න යන දේවල් ගැන පෙර තියාම ප්‍රකාශ කිරීම තුළ මේ රටේ අනවශ්‍ය ප්‍රශ්න බොහෝ ප්‍රමාණයක් ඇති වෙනවා. ඒ නිසා මේ දේ කරන්න එපා කියලා බොහොම ඕනකමින් ඉල්ලා සිටිනවා. ආයේ පක්ෂයේ ලේකම්වරයා විදියට මගෙන් වෙන්න යන දේවල් ගැන මාධ්‍ය ඇහුවොත් මම වෙන්න යන දේවල් ගැන එක වචනයක් කියන්නේ නෑ. වුණාට පස්සේ කියනවා කැමැති නම් ප්‍රචාරය කරන්න.

මඩාටුගම - ප්‍රසංග ඒකනායක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon