ගෙල කපා බිරිය මැරූ සැමියා ගෙල වැලලාගෙන

  👤  3302 readers have read this article !
By mawbima 2018-04-17

තංගල්ල - සහම්පති මානගේ

තංගල්ල, දකුණු කුඩාවැල්ල ප්‍රදේශයේ නිවෙසක් තුළ තිබී ගෙල කපා ඝාතනය කරන ලද කාන්තා මළ සිරුරක් පෙරේදා (15දා) සොයාගත් බව තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ඩී. විරන්ගා ඉමල්ෂා (22) නම් එක්දරු මවකි. කුඩාවැල්ල, වැලිගෙඩිය ප්‍රදේශයේ පදිංචිව සිටි ඇයගේ මළ සිරුර නිවෙස තුළ තිබී සොයාගෙන ඇත. ඝාතනයට යොදාගන්නා ලදැයි සැක කරන පිහියක් හා කතුරක් කාන්තාවගේ මළ සිරුර අසල තිබී පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇත. මියගිය කාන්තාවගේ මුහුණේ ස්ථාන කිහිපයක උල් ආයුධයකින් සිදුකළ තුවාල කිහිපයක් හා ගෙලෙහි දරුණු කැපුම් තුවාල තිබී ඇත. ඝාතනය සිදුවූ අවස්ථාවේදී නිවෙස තුළ වෙනත් කිසිවකු සිට නොමැති බව පොලිස්

පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත. පෙරේදා (15ද) දහවල් 12.00ට පමණ මේ ඝාතනය සිදුවී ඇති බවට පොලිසිය සැක කරයි.

ඝාතනයට ලක්වූ කාන්තාවගේ සිරුර තිබූ ස්ථානයේ සිට මීටර් අටසීයක් පමණ දුරින් පිහිටි කුඩාවැල්ල, සූරියවැල්ල ප්‍රදේශයේ පාළු නිවෙසක් තුළ ඇයගේ සැමියාද ගෙල වැලලාගෙන ජීවිතක්‍ෂයට පත්ව සිටියදී ප්‍රදේශවාසීන් විසින් සොයාගන්නා ලදී. ඔහු වයි.ජී. දර්ශන නම් විසිහය හැවිරිදි තරුණයෙකි. මේ පුද්ගලයා විසින් තම බිරිය ඝාතනය කර ඔහුද ගෙල වැලලාගෙන

ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි පොලිසිය සැක කරයි. මෙම ඝාතනයට හා සියදිවි හානිකර ගැනීමට හේතුව මෙතෙක් හෙළිවී නොමැත.

තංගල්ල වැඩබලන මහෙස්ත්‍රාත් රංජිත් ගුණසේකර මහතා විසින් මහෙස්ත්‍රාත් පරීක්‍ෂණය සිදුකරන ලදී.

හම්බන්තොට හා මාතර දිසා භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් හා තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල්, සහකාර පොලිස් අධිකාරි බී.එම්.එම්. දසනායක මහත්වරුන්ගේ උපදෙස් පරිදි තංගල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ලලිත් හෙට්ටිආරච්චි, අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක අසංක රංගන, පොලිස් කොස්තාපල් රුවන් (52725), සම්පත් (73055), තංගල්ල ස්ථානීය අපරාධ පරීක්‍ෂණ ඒකකයේ උප පොලිස් පරීක්‍ෂක අජිත් නිශාන්ත, පොලිස් සැරයන් ජී.ඒ. නිශාන්ත (44923), පොලිස් කොස්තාපල් මහේෂ් (60830) යන නිලධාරීහු මේ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon