විදුලි සෝපානයට හා බිත්තියට ගෙල සිර වී සේවකයෙක් මරුට

  👤  3311 readers have read this article !
By mawbima 2018-04-17

කොළඹ - එම්.සී. පෙරේරා

ගල්කිස්ස ගාලු පාර දෙමහල් ගොඩනැඟිල්ලක ඉහළ මහලේ පිහිටි සුපිරි ක්ෂණික ආහාර නිෂ්පාදන ආයතනයක විදුලි සෝපානයට හා බිත්තියට ගෙල හා හිස ප්‍රදේශය සිරවීමෙන් එහි සේවකයෙක් අවුරුදු දා (14) මියගොස් ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.

අනතුරින් මියගොස් ඇත්තේ බටපොළ ඉලුක්පිටිය පදිංචිව සිටි චානුක සංගීත් (22) යන අයයි.

දෙමහල් ගොඩනැඟිල්ලේ පහත මහලේ සුපිරි වෙළෙඳසලක් පවත්වාගෙන යන අතර ඉහළ මහලේ සුපිරි ක්ෂණික ආහාර නිෂ්පාදන ආයතනයක් පිහිටා ඇතැයි පොලිසිය කියයි.
ඉහළ මහල කරා බඩුබාහිරාදිය එහා මෙහා ගෙනයෑමට පමණක් විදුලි සෝපානය පරිහරණය කරන බව හා එය ක්‍රියාත්මක කරනු ලබන්නේ පහත මහලේ පිහිටි සුපිරි වෙළෙඳසලින් බව පොලිසිය කළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

මියගිය අය 14දා අලුයම 2.00ට පමණ විදුලි සෝපානයේ ‍ෙදාර අසලට ගමන් කරන අයුරු එහි සී.සී.ටී.වී. කැමරාවේ සටහන්ව ඇතැයි පොලිසිය කියයි.

සුපිරි ක්ෂණික ආහාර නිෂ්පාදන ආයතනයේ පිරිසුදු කිරීමේ සේවකයා එහි පිරිසුදු කිරීම් සඳහා ඊට තත්පර හතළිස් නවයකට පසු උඩුමහලට යන අයුරුද සී.සී.ටී.වී. කැමරාවේ සටහන්ව ඇතැයි කියයි. මියගිය අය ඉහළ මහලේ විදුලි සෝපානයට හා බිත්තියට ගෙල හා හිස ප්‍රදේශය සිරවී සිටිනු දැක ඇත්තේ පිරිසුදු කිරීමේ සේවකයා බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

වහා ක්‍රියාත්මක වූ එම සේවකයා ඒ සම්බන්ධව ගල්කිස්ස පොලිසියට දැනුම් දීමත් සමඟ විදුලි සෝපාන ක්‍රියාකරුවකු ගෙන්වා බරපතළ තුවාල ලබා සිරවී සිටි සේවකයාව පිටතට ගෙන තිබේ.

විනාඩි තිස් පහකට පමණ පසුව 1990 සුව සැරිය ගිලන් රථ සේවාව මඟින් කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු ඒ වන විටත් මියගොස් තිබූ බව පොලිසිය කියයි.

මියගිය අය විදුලි සෝපානය ක්‍රියාත්මක කිරීම සඳහා ඇති ස්විචය පණ ගන්වා හිස හා අත පිටතට නොගැනීම හේතුවෙන් මෙම හදිසි අනතුර වී ඇතැයි පොලිසිය කියයි.
ගල්කිස්ස වැඩ බලන මහෙස්ත්‍රාත් ඒ.පී.එල්. ධර්මතිලක මහතා සිද්ධියවූ ස්ථානයේ පරීක්ෂණ කළේය. ගංගොඩවිල වැඩ බලන මහෙස්ත්‍රාත් තිස්ස විජේරත්න මහතා මළ සිරුර සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය කළේය.

ගල්කිස්ස කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් විජේසිංහ, සහකාර පොලිස් අධිකාරි සමන් ජයසේකර මහත්වරුන්ගේ උපදෙස් මත ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක රොහාන් පුෂ්පකුමාර, අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තරිඳු හෙට්ටිආරච්චි යන මහත්වරු පරීක්ෂණ පැවැත්වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon