සතොස හිටපු සභාපති ඇප මත මුදාහරියි

  👤  3139 readers have read this article !
By mawbima 2018-04-17

අමිල අබේරත්න

පසුගිය රජය යටතේ රජයේ මුදල් රුපියල් මිලියන 39ක් අවභාවිත කරමින් කැරම් සහ දාම් බෝඩ් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාර ගත කොට සිටි සතොස හිටපු සභාපති නලින් රුවන්ජීව ප්‍රනාන්දු යන අය රුපියල් විසිපන් දහසක මුදල් ඇප සහ ලක්‍ෂ තුන බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය.

ඊට අමතරව හිටපු සතොස සභාපතිවරයාට විදේශ ගමන් තහනම් කරමින් විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට ඉදරිපත් කළ යුතු බවද මහෙස්ත්‍රාත්වරිය දන්වා සිටියාය.

ඉකුත් නඩු දිනයේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා ඉදිරිපත් කර තිබූ ලිඛිත ඇප ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය හිටපු සභාපතිවරයාට ඇප නියම කළ අතර ඔහුගේ නීතිඥයා ඇප ඉල්ලීමේ සඳහන් කර තිබුණේ ප්‍රශ්න ගත මුදල සම්බන්ධයෙන් පාඩුව සිදුව ඇත්තේ සතොස ආයතනයට බව සහ සතොස ආයතනය සමාගම් පනත යටතේ ලියාපදිංචි ආයතනයක් වන බැවින් පොදු දේපොළ පනත යටතේ විත්තිකරුට එරෙහිව චෝදනා ගොනුකර නොමැති බව සහ ඒ අනුව ඇප නියම කරන ලෙසය.

ඇප පිළිබඳ නියෝගය නිකුත් කරමින් මහෙස්ත්‍රාත්වරිය දන්වා සිටියේ පාඩුව සිදුව ඇත්තේ ලංකා සතොස ලිමිටඩ් ආයතනයට වන බවට කරුණු තහවුරු වන බව හා ඒ අනුව එල්ල කර තිබූ චෝදනා පොදු දේපොළ පනත යටතේ අර්ථ නිරූපණය කළ නොහැකි බවය.

සතොස ආයතනය සමාගම් පනත යටතේ ලියාපදිංචි ආයතනයක් වන බවද ඒ අනුව එම ආයතනය සමාගම් ආඥා පනතට ගැනෙන බවද ඒ අනුව පොදු දේපොළ පනතින් චෝදනා බැහැර වන බවද මහෙස්ත්‍රාත්වරිය දන්වා සිටියාය.

සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ විදේශ ගමන් අධිකරණය මඟින් මේ වන විට අත්හිටුවා තිබේ.

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ඉල්ලීම පරිදි ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා නිකුත් කළ ලිපියකට අනුව සතොස මඟින් කැරම් සහ දාම් බෝඩ් දාහතර දහස බැගින් මෙරටට ආනයනය කර ඇති බවද එලෙස ගෙන්වූ කැරම් සහ දාම්බෝඩ් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ කාර්යාලයක් මඟින් රට පුරා බෙදාහැර 2015 ජනපතිවරණ මැතිවරණ කටයුතු සඳහා භාවිත කර ඇති බවද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස නිලධාරීන් ඉකුත් නඩු දිනයේදී අධිකරණයට ප්‍රකාශ කර සිටියේය.

2014 වසරේ අග භාගයේදී වූ මේ සිද්ධිය ගැන ලක් සතොස ප්‍රධාන අභ්‍යන්තර විගණන නිලධාරි විසින් දූෂණ මර්දන කමිටු කාර්යාලයේ අධ්‍යක්‍ෂවරයාට කරන ලද පැමිණිල්ලකට අනුව ඔහු විසින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කළ පැමිණිල්ලකට අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කොට ඇත.
නඩුව මැයි 11 වැනිදා යළි කැඳවීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon