ගැබිනි දියණිය හා මවට තර්ජනය කර ලක්‍ෂ 5ක භාණ්ඩ සොරාගත් කල්ලිය සොයා පරීක්‍ෂණ

  👤  3190 readers have read this article !
By mawbima 2018-04-17

කුමුදු උපුල් ශාන්ත

අලුත් අවුරුද්ද උදාවීමට පැය කිහිපයක් තිබියදී ආණමඩුව සූරක්කුලම ප්‍රදේශයේ නිවෙසකට රාත්‍රි කාලයේදී රහසිගතව ඇතුළු වී එම නිවෙසේ කාමරයක නිදාගෙන සිටි දසමස් ගැබිනි දියණියකගේ හා ඇගේ මවගේ ගෙලට පිහියක් තබා මරා දමන බවට බිය ගන්වා එම නිවෙසේ තිබූ රන් ආභරණ හා දුරකතන ඇතුළු රුපියල් ලක්‍ෂ පහකට ආසන්න වටිනාකමින් යුත් භාණ්ඩ සොරාගෙන ගිය සොර කල්ලියක් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බව ආණමඩුව පොලිසිය පවසයි.

මෙම සිද්ධිය ඉකුත් 13 දින අලුයම 2.00ට පමණ සිදුව ඇති බවත් මෙම සිද්ධියේ පැමිණිලිකාරිය වන චලනි නිමේෂිකා නමැති ගැබිනි දියණිය හා ඇගේ මව පමණක් එදින නිවෙසේ සිට ඇති බවද අනාවරණය වෙයි.

එම මව හා ගැබිනි දියණිය එසේ නිදාගෙන සිටින අවස්ථාවේ මුහුණු ආවරණය කරගෙන මන්නා පිහි ඇතැතිව පැමිණි සොර කල්ලියේ තිදෙනකු මව හා ගැබිනි දියණිය අවදි කර ඔවුන්ගේ ගෙලට පිහි තබා මරණීය තර්ජන එල්ල කර ඔවුන් සතු රන් ආභරණ හා මුදල් ඉල්ලා ඇති බව ද ඒ අවස්ථාවේ ඔවුන්ගේ දෙපා ළඟ වැද වැටී ඇති එම ගැබිනි දියණිය ඔවුන් සතුව මුදල් හෝ රන් ආභරණ නොමැති බව ද එසේ දැන්වීමෙන් පසුව කුපිත වූ සැකකරුවන් තිදෙනා "තොපි දෙන්නාව මෙතැනම කපලා මරලා දානවා. අල්මාරිය ඇරලා බඩු අරගෙන දීපියව්" යනුවෙන් තර්ජනය කර බලහත්කාරයෙන්ම එම මව හා දියණිය ලවා එම අල්මාරිය විවෘත කරවාගෙන තිබේ.

එසේ අල්මාරිය විවෘත කරවා ගත් එම සැකකරුවන් තිදෙනා එම අල්මාරියේ තිබූ වටිනා රන් මාල දෙකක්, මුදු කිහිපයක්, රුපියල් පනස් දහසකට ආසන්න මුදලක් හා ජංගම දුරකතන හතරක් ඇතුළු රුපියල් ලක්‍ෂ පහකට ආසන්න දේපළ සොරාගෙන ගොස් ඇති බව ද
අනාවරණය වෙයි.

එදින අලුයම් කාලයේදී එම නිවෙසට පැමිණ ඇති එම සොර කල්ලිය එම නිවෙසේ පිටත රෙදි වැලක තිබූ මවගේ හා දියණියගේ ඇඳුම් කිහිපයක් එකට ගැට ගසා ලණුවක් ආකාරයට සාදාගෙන ඇති බව ද පසුව ඔවුන් එම නිවෙසේ වහලයට නැඟ එහි උළුකැට ඉවත් කර එම රෙදිවලින් සාදාගත් ලණුව ආධාරයෙන් නිවෙසේ කාමරය තුළට බැස ඇති බවද අනාවරණය වෙයි.

මේ පිළිබඳව ආණමඩුව පොලිසියෙන් විමසීමේදී කියා සිටියේ මෙම කොල්ලය සඳහා සැකකරුවන් තිදෙනකුට වැඩි පිරිසක් පැමිණ ඇති බවට දැනට සිදුකරමින් පවතින විමර්ශන අනුව අනාවරණය කෙරෙන බවත් ඉතා ඉක්මනින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විට ගෙන ඇති බවත්ය.

ආණමඩුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂණ ආර්.බී.යූ. රත්නමලල මහතාගේ උපදෙස් මත අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක උපාලි අබේරත්න මහතා ඇතුළු පිරිසක් විමර්ශන සිදුකරති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon