ඉතිහාසයේ වැඩිම පදක්කම් ගණනක් අතට ගත් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අවුරුද්දට ගෙදර එති

  👤  3204 readers have read this article !
By mawbima 2018-04-17

අංජන කලුආරච්චි ගෝල්ඩ්කෝස්ට් නුවර සිට...

ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නුවරදී පෙරේදා නිමාවට පත්වූ 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීීය ක්‍රීඩා උළෙලේදී එම ක්‍රීඩා උළෙල ඉතිහාසයේ වැඩිම පදක්කම් ප්‍රමාණයක් සටහන් කරමින් ශ්‍රී ලංකාව 31 වැනි ස්ථානය දිනා ගැනීමට සමත් වූ අතර ප්‍රථම ස්ථානය සත්කාරක ඔස්ට්‍රේලියාව විසින් හිමිකරගන්නා ලදී.

ඒ අනුව රන් පදක්කම් 80ක් රිදී පදක්කම් 59ක් සහ ලෝකඩ පදක්කම් 59ක් ඇතුළුව සමස්ත පදක්කම් 198ක් සමඟින් ඕස්ට්‍රේලියාව පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට සමත් වූ අතර රන් පදක්කම් 45ක් රිදී පදක්කම් 45ක් සහ ලෝකඩ පදක්කම් 46ක් සමඟින් එංගලන්තයට දෙවැනි ස්ථානය හිමි විය. රන් පදක්කම් 26ක් රිදී පදක්කම් 20ක් සහ ලෝකඩ පදක්කම් 20ක් තෙවැනි ස්ථානය දිනාගත් ඉන්දියාව පදක්කම් සටහනට ඇතුළත්කර ගත්තේය.

තවද එක් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 5ක් සමඟින් පදක්කම් 6ක් ශ්‍රී ලංකාවට හිමිවූ අතර 1950 වසරේදී ඕක්ලන්ඩ් හි පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට හිමි වූ පදක්කම් 4 මීට පෙර ලබාගත් වැඩිම පදක්කම් ගණනේ වාර්තාව ලෙස සටහන් විය.

කෙසේ වෙතත් මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව දිනාගත් පදක්කම් සියල්ලම බෙදී ගියේ බර ඉසිලීමේ සහ බොක්සිං ඉසව් වෙනුවෙනි. බර ඉසිලීමේ ඉසව්වෙන් එක් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 2ක්ද බොක්සිං ඉසව්වෙන් ලෝකඩ පදක්කම් 3ක්ද හිමිවිය. වසර 68කට පසුව ශ්‍රී ලංකාවට පොදු රාජ්‍ය මණ්ඩලීය බොක්සිං පදක්කම් දිනා දෙන්නට අනූෂා කොඩිතුවක්කු, තිවංක රණසිංහ සහ ඉෂාන් බණ්ඩාර යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වූයේ ඔවුන් තරග වැදුණු බර පන්තියේ ලෝකඩ පදක්කම් දිනාගනිමිනි.

එමෙන්ම අනූෂා හිමිකරගත් ලෝකඩ පදක්කම පළමු පොදු රාජ්‍ය මණ්ඩලීය ශ්‍රී ලංකා කාන්තා බොක්සිං පදක්කම වීමද විශේෂත්වයකි. බර ඉසිලීමේ ඉසව්වෙන් හිමිවූ රිදී පදක්කම ඉන්දික දිසානායක විසින් හිමිකර ගත් අතර ඉතිරි ලෝකඩ පදක්කම් දෙක චතුරංග ලක්මාල් සහ හංසනී ගෝමස් විසින් දිනාගන්නා ලදී. ශ්‍රී ලංකා කාන්තා බර ඉසිලීමේ ඉතිහාසය වෙනස් කළ හංසනී ගෝමස් පළමු පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ පදක්කම හිමිකර දුන් ක්‍රීඩිකාව වන්නට සමත් වීමද විශේෂත්වයකි.

බර ඉසිලීමේ ඉසව්වෙන් තවත් ශ්‍රී ලංකා පදක්කම් බලාපොරොත්තුවක් වූ චින්තන ගීතාල් විදානගේ හට එම ඉසව්වේ 5වැනි ස්ථානය හිමිවූ අතර චමරි වර්ණකුලසූරිය හා විරාජ් තිවංක හට ඔවුන් තරග වැදුණු බර ඉසිලීමේ ඉසව්වලින් සිවුවැනි ස්ථාන හිමිවීමට තරම් අවාසනාවන්ත විය.

තවද ජවන හා පිටිය මලල ක්‍රීඩා ඉසව්වලදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට බලාපොරොත්තු වූ දක්ෂතා අතරට පැමිණීමට නොහැකි වූවද පිරිමි මීටර් 4 ය 100 සහාය දිවීමේ තරගයට සහභාගී වූ හිමාෂ ඒෂාන්, විනෝජ් සුරංජය, ශෙහාන් අඹේපිටිය සහ මොහොමඩ් අෂ්රොෆ්ගෙන් සමන්විත කණ්ඩායම 2015 වසරේ ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී ඔවුන් විසින්ම ගොඩනඟා තිබූ තරග වාර්තාව අලුත් කළ අතර තත්පර 39.08ක කාලයක් වාර්තා කරමින් අවසන් තරගයේදී 6 වැනි කණ්ඩායම ලෙස තරගය නිමා කළේය. මීටර් 800 කාන්තා ඉසව්ව සඳහා සහභාගී වූ නිමාලි ලියනාරච්චි සහ ගයන්තිකා අබේරත්න හට මූලික වටයේ තරගවලින්ම ඉවත් වීමට සිදුවිය. හෙල්ල විසිකිරීමේ ක්‍රීඩිකා දිල්හානි ලේකම්ගේට 5 වැනි ස්ථානයත් දුර පැනීමේ ක්‍රීඩක ජානක ප්‍රසාද් විමලසිරි හට 7 වැනි ස්ථානයත් හිමිවූ අතර ඔවුන් දෙදෙනාම පළමු අටදෙනා අතරට ඇතුළත් වීමට සමත් විය.

මැරතන් තරගයට සහභාගී වූ හිරුණි විජයරත්න පැය 2යි මිනිත්තු 49යි තත්පර 38ක් වැය කොට 11 වැනියා ලෙස තරගය නිමා කළ අතර කිලෝමීටර් 42.195ක සමස්ත දුරකින් යුත් එම තරගය සම්පූර්ණයෙන්ම නිමා කළ එකම ආසියානු ක්‍රීඩිකාව හිරුණි විජයරත්න වීමද කැපී පෙනිණි.

කෙසේ වෙතත් බැඩ්මින්ටන් පිරිමි යුගල ඉසව්වලදී සචින් ඩයස් හා බුවනෙක ගුණතිලක ලෝකඩ පදක්කම වෙනුවෙන් පැවැති තරගය දක්වා පිවිසීමට සමත් වූවද මැලේසියාව හමුවේ එම තරගයේදී පරාජය විය. තවද

ස්කොෂ් ක්‍රීඩිකා මිහිලියා මෙත්සරණි පළඟ ශූරතා අංශයෙන් තරගවැදී අනුශුරතාවය දිනාගෙන තිබිණි.

එමෙන්ම පිහිනුම් ක්‍රීඩක මැතිව් අබේසිංහ මීටර් 50 සහ මීටර් 100 නිදහස් ආර ඉසව්වලදී නව ශ්‍රී ලංකා වාර්තා පිහිටුවූයේ මීටර් 50 තත්පර 22.05කින්ද මීටර් 100 තත්පර 49.11කින්ද නිමාකරමිනි. තවද මීටර් 4ය100 සහාය පිහිනුම් අවසන් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම 6වැනි ස්ථානය හිමිකරගෙන තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon