පොදු රාජ්‍ය මණ්ඩලීීය ක්‍රීඩා උළෙල තිවංක හා ඉෂාන් අද යළිත් අවසන් පූර්ව වටයේ බොක්සිං වළල්ලට කාන්තා මීටර් 800 මූලික තරග වටයෙන්ම නිමාලි හා ගයන්තිකා ඉවතට

  👤  2396 readers have read this article !
By mawbima 2018-04-13

අංජන කලුආරච්චි ගෝල්ඩ්කෝස්ට් නුවර සිට...

21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ ඊයේ දිනයේ පැවැති කාන්තා මීටර් 800 ඉසව්වේ මූලික තරග සඳහා සහභාගි වූ නිමාලි ලියනාරච්චි හට 7වන ස්ථානයද, ගයන්තිකා අබේරත්න හට 8වන ස්ථානයද හිමි විය. ඒ අනුව එම ඉසව්වෙන් ශ්‍රී ලංකාවට පදක්කමක් කෙරෙහි තිබූ බලාපොරොත්තු ගිලිහී යන විට බොක්සිං ඉසව්වෙන් මේ වන විටත් ලෝකඩ පදක්කම් 2කට හිමිකම් කියන තිවංක රණසිංහ සහ ඉෂාන් බණ්ඩාර යන දෙදෙනා අද අවසන් පූර්ව වටය සඳහා බොක්සිං වළල්ලට පිවිසෙන්නේ රිදී හෝ රන් පදක්කමක් වෙනුවෙන් යන ගමන සඳහාය.

කිලෝග්‍රෑම් 46-49 බර පන්තියෙන් සටන් වදින තිවංකගේ තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 8.32ට සහ කිලෝග්‍රෑම් 52ක බර පන්තියෙන් සටන් වදින ඉෂාන් බණ්ඩාරගේ තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 9.02ටද පැවැත් වෙයි.

ක්‍රීඩිකාවන් 9 දෙනකු සහභාගි වූ කාන්තා මීටර් 800 මූලික වටයේ පළමු තරගයේදී මිනිත්තු 1යි තප්පර 59.26ක කාලයක් වාර්තා කරමින් පළමු ස්ථානය හිමි කරගන්නට දකුණු අප්‍රිකානු ක්‍රීඩිකා කැස්ටර් සෙමෙන්යා සමත් වන විට 8වැනියා ලෙස තරගය නිම කළ ගයන්තිකා අබේරත්නට මිනිත්තු 2යි තප්පර 04.72ක කාලයක් ගතවී තිබිණි.

ක්‍රීඩිකාවන් 8 දෙනකු සහභාගි වූ කාන්තා මීටර් 800 මූලික වටයේ තෙවැනි තරගයේදී 7වැනියා ලෙස තරගය නිමා කළ නිමාලි ලියනාරච්චි හට මිනිත්තු 2යි තප්පර 08.52ක කාලයක් ගතවී තිබූ අතර එම තරගයේ පළමු ස්ථානය හිමි කරගත් කෙන්යා ක්‍රීඩිකා එමිලි චෙරෝටිච් හට තරගය නිමා කිරීමට මිනිත්තු 2යි තප්පර 00.58ක කාලයක් ගතවී තිබිණි.

ආසියානු රන් පදක්කම්ලාභී නිමාලි ලියනාරච්චි තරගයෙන් අනතුරුව පවසා සිටියේ තමාගේ පුහුණුකරු වන සුජිත් අබේසේකර තමන් සමඟ නොමැති වීම මෙම පරාජයට ප්‍රධානම හේතුව බවයි. 'මම අන්තිම වතාවට මගේ පුහුණුකරු එක්ක පුහුණුවීම් කරලා දවස් 15ක් වෙනවා. මාව පුහුණු කරන්න ඔහු මෙහේ සිටියා නම් මට මීට වඩා හොඳින් තරග කරන්න තිබුණා' යැයි නිමාලි පැවසූ අතර ඇය වැඩිදුරටත් මෙසේ පැවැසුවාය. 'අවුරුද්දකට එක පාරක් වගේ අපිට මේ වගේ ඉතා උසස් තරගාවලියකට සහභාගි වෙන්න ලැබීම ප්‍රමාණවත් නෑ. තරගාවලි වැඩි ප්‍රමාණයක් අවුරුද්දකට ලැබෙනව නම් අපිට මීට වඩා හොඳින් ඉදිරියට ක්‍රීඩා කරන්න පුළුවන්. මම හිතනව ඉදිරියෙදීවත් මගේ පුහුණුකරු මාත් එක්ක ඉඳීවි කියල.'

මේ අතර ඊයේ පැවැති බැඩ්මින්ටන් පිරිමි කේවල අංශයෙන් අවසන් 16 දෙනාගේ ඉසව්වලදී නිලූක කරුණාරත්න ලෝක ශේ්‍රණිගත කිරීම්හි දෙවන ස්ථානය හිමි කරගෙන ඇති ඉන්දීය ක්‍රීඩක ශ්‍රී කාන්ත් කිඩම්බි හමුවේ තරග වට 2-0ක් ලෙසත් බුවනෙක ගුණතිලක සිංගප්පූරු ක්‍රීඩක සින් රෙයි හමුවේ තරග වට 2-1ක් ලෙසත් පරාජය විය.

කාන්තා යුගල අවසන් 16 දෙනාගේ වටයේදී තිළිණි හෙන්දහේවා සහ කවිදි සිරිමාන්නගේ හමුවේ දකුණු අප්‍රිකානු ක්‍රීඩිකා යුගලය වන මිචෙල් බට්ලර් සහ එල්සී ඩි විලියර්ස් තරග වට 2-0ක් ලෙස පරාජය වීම කැපී පෙනිණි. එමෙන්ම එම වටයේදීම තවත් තරගයකදී හසිනි අම්බලන්ගොඩගේ සහ මධුෂිකා දිල්රුක්ෂි හමුවේ මුරේෂස් ක්‍රීඩිකා යුගලය වන ඔරේලි මේරි සහ නිකී චාන්-ලැම් තරග වට 2-0ක් ලෙස පරාජය විය. තවද පිරිමි කේවල අංශයේ අවසන් 16 දෙනාගේ ඉසව්වකදී දිනූක කරුණාරත්න හමුවේ මුරේෂස් ක්‍රීඩක ජූලියන් පෝල් තරග වට 2-0ක් ලෙස පරාජය වී තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon