පොදු රද මඬුලු සමුළුවට ජනපති ලන්ඩන් යයි

  👤  3566 readers have read this article !
By mawbima 2018-04-15

අනුරාධා හේරත්

ලන්ඩන් නුවර පැවැත්වෙන 2018 පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (15දා) එක්සත් රාජධානිය බලා පිටත් වෙයි.

මෙම සමුළුව අප්‍රේල් 16දා සිට 20දා දක්වා ලන්ඩන් නුවරදී පැවැත්වේ.

පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවේ මෙවර තේමාව "පොදු අනාගතයක් වෙත" යන්නයි.

එහිදී සෞභාග්‍ය, සුරක්‍ෂිත බව, සාධාරණත්වය, තිරසර බව යන අංශ යටතේ පොදු රාජ්‍ය මණ්ඩල අරමුණු සාක්‍ෂාත් කරගැනීමට විශේෂ අවධානය යොමු වන බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

අප්‍රේල් 17 වැනිදා සිට 21 වැනිදා දක්වා එක්සත් රාජධානියේ කෙරෙන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල සංචාරය තුළදී එරට අග්‍රාමාත්‍ය තෙරේසා මේ මහත්මිය හමුවීමට නියමිතය. පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුවට සහභාගි වන රාජ්‍ය නායකයන් කිහිප දෙනෙක් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත බවද ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව අවසන් වරට පවත්වන ලද්දේ මෝල්ටා රාජ්‍යයේ වන අතර දැනට එහි සභාපති ධුරය දරන මෝල්ටාව මෙවර සැසියේදී එම සභාපතිත්වය එක්සත් රාජධානිය වෙත පැවරීමට නියමිතය.

තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම පිළිබඳ පැවැත්වෙන සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වීම සඳහාද ජනාධිපතිතුමාට ඇරයුම් ලැබී තිබෙන අතර පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා සම්මේලනයට මෙන්ම බි්‍රතාන්‍ය මහ රැජනගේ 92 වැනි ජන්ම දිනය නිමිත්තෙන් පැවැත්වෙන විශේෂ සැමරුම් උත්සවයකටද ජනාධිපතිතුමා සිය සංචාරයේදී සහභාගි වනු ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශ කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon