රටම අන්දවපු හොර වෙළෙන්දන් කාට කාටත් අවුරුදු කවපු හැටි

  👤  3362 readers have read this article !
By mawbima 2018-04-15

උත්සව සමයන් කිට්ටු කර ලංකාවේ ඇතැම් කූට

වෙළෙනදන් හැසිරෙන ආකාරය පාරිභෝගික ජනතාවගේ ශරීර සෞඛ්‍යයට කිසිසේත් හිතකර වන්නේ නැත. පාරිභෝගික අවශ්‍යතාවන් ඉතා ඉහළ නිසාවෙන් සහ ඔවුන් බොහෝ දෙනකු නිසි අවබෝධයකින් තොරව බඩු මුට්ටු මිල දී ගන්නට පෙලඹෙන කාලයක් බැවින් බොහෝ දෙනෙක් මේ වෙළෙඳ ගැට සූත්තරවලට හසු වෙති. මේ පිළිබඳ අවධානය යොමු කළ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය

පරීක්‍ෂකවරුන්ගේ සංගමය ලිඛිතව සහ දුරකතන මාර්ග ඔස්සේ තම සාමාජිකයන් දැනුවත් කර ආහාර පරිහරණ වෙළෙඳ ආයතන විශේෂ පරීක්‍ෂාවකට ලක් කිරීමට උපදෙස් ලබා දෙන ලදී. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ද ආහාර පරිහරණ වෙළෙ¼ද ආයතන පරීක්‍ෂා කිරීමේ සතියක් ප්‍රකාශයට පත් කර ඒ අනුව කටයුතු කරන්නට මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ට උපදෙස් ලබා දී තිබූ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අදාළ දිනවලදීම ඩෙංගු මර්දන සතියක්ද ප්‍රකාශයට පත් කර තිබූ නිසා එකම නිලධාරීන්ට මේ රාජකාරි කටයුතු දෙකම සිදු කරන්නට විය.

කෙසේ වෙතත් ඩෙංගු රාජකාරිවලටද බාධාවක් ඇති නොවන පරිදි මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්ත්වයන් ද නොතකා සවස් වරුවල සහ රාත්‍රි කාලයේදී වෙළෙඳසල් පරීක්‍ෂා කිරීමට මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් කටයුතු සිදුකර ඇත. දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් සිදුකළ එකී විශේෂ පරීක්‍ෂා කිරීම්වලදී අනාවරණය වූ කරුණු කාරණා අප ආහාරයට ගනු ලබන ද්‍රව්‍යයන් පිළිබඳ අපව භීතියට පත් කරවන සුලුය. අවුරුද්දට වෙළෙඳපොළෙන් මිල දී ගෙන ආ ආහාර ද්‍රව්‍ය අතරේ මෙවැනි ආහාර ද තිබිය හැකි බැවින් එසේ අනාවරණය වූ වෙළෙඳ ගැට සූත්තර කිහිපයක් මෙසේය.

කෘත්‍රිමව ඉදවූ පලතුරු

ලංකාවේ කෘත්‍රිමව පලතුරු ඉදවීම නීති ගත කටයුත්තක් වන අතර වෙළෙඳපොළේ විකුණන්නට තිබෙන අඹ, ගස්ලබු, කෙසෙල්, පැෂන් ෆෘට්, දූරියන්, අන්නාසි, දෙහි (මිල වැඩි කාලයට දෙහි ගැට වර්ණ ගන්වා වෙළෙ¼දපොළට ඉදිරිපත් කෙරේ) වැනි පලතුරු සුලබව කෘත්‍රිමව ඉදවීම නොහොත් පාට කිරීම සිදු කරයි. එකල මේ සඳහා භාවිත කළේ කාබයිට් වන අතර කාබයිට් තරම්ම හානිකර නොවන එතෆෝන් නොහොත් ඒත්රල් නමැති දියරය දැන් සුලබව භාවිත කෙරේ. රසායනික ද්‍රව්‍ය පලතුරු මතට කෙළින්ම යෙදීම නිර්දේශ නොකළ ද නිදේශිත ක්‍රමය කිසිවකු පිළිපදින්නේ ද නැත. කෘත්‍රිමව ඉදවීම සිදු කළ පලතුරු රසායනාගාර පරීක්‍ෂණයකට ලක් කොට නීතියේ රැහැනට හසුකර ගන්නට නීති ප්‍රතිපාදන මෙරට තුළ නොමැති වුවද පලතුරු තොගවලට කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය යොදන අවස්ථාවලදීම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නට කඩුගන්නාව, දඹුල්ල, කුරුණෑගල වැනි ප්‍රදේශවල රාජකාරි කරන නිලධාරීන්ට හැකි වී ඇත. එවන් එක් අවස්ථාවක දී වරදකරුවන් මාස 6ක සිර දඬුවම් ලබා දීමට ද මහෙස්ත්‍රාත්වරයා කටයුතු කර තිබිණි.

මෙවන් කරුණු අනාවරණය වීම නිසාවෙන් පලතුරු මිලදී ගැනීමේදී හොඳින් පැසුණු අමු පලතුරු මිලදී ගෙන තමන් නිවෙසේදී ඉදවා ගැනීම උචිතම සෞඛ්‍යය ආරක්‍ෂිත ක්‍රමය (උදාහරණ කෙසෙල් කැන්) ඉදුණු පලතුරු මිල දී ගන්නවා නම් ඒවා හොඳින් මේරූ ඒවා දැයි විමසා බලන්න. එම පලතුරු ආහාරයට ගන්නට ප්‍රථම හොඳින් සෝදා පොතු ඉවත් කර ගන්න. ගහේදී හැර (ගස්ලබු වැනි පලතුරු දැන් ගසේ තිබියදීම රසායනික ද්‍රව්‍ය යොදා ඉදවන්නට තරම් අපේ ඇතැම් ගොවි මහත්වරු නරුම වී ඇත.) කෘත්‍රිමව ඉදවීම නොකළ පලතුරු වෙළෙඳපොළෙන් සොයා ගැනීම දැන් කළුනික සොයනවා වගේ වැඩක් වී ඇත. ඒ නිසා අවුරුද්ද හෙටයි කියලා පලතුරු ගෙන එන්නේ නැතිව කල් වේලා ඇතිව සූදානම් වීම ශරීර සෞඛ්‍යයට හිතකර වනු ඇත.

තත්ත්වයෙන් බාල කළ විස පොල් තෙල්

සංචාරක හෝටල්වලින් ඉවත් කරන වරක් භාවිත කළ තෙල් එකතු කර හොඳ පොල් තෙල් හෝ ෆාම් තෙල් සමඟ කවලම් කොට වෙළෙඳපොළට එවීමේ මහා පරිමාණ ජාවාරමක් රට තුළ ක්‍රියාත්මකව තිබෙන බව අවධාරණය කරමු. විශේෂයෙන් ගම්පහ, කුරුණෑගල වැනි ප්‍රදේශවලින් එවැනි කූට වෙළෙඳුන් අත්අඩංගුවට ගන්නට මේ දිනවලදී මහජන සෞඛ්‍ය

පරීක්‍ෂකවරුන්ට හැකි වී තිබේ. වරක් භාවිත කළ මෙම තෙල් නැවත භාවිත කිරීම සෞඛ්‍යයට ඉතාමත්ම අහිතකරය. එමෙන්ම ලංකාවේ වෙළෙඳපොළේ අලෙවි කෙරෙන සියලුම ෆාම් තෙල් වර්ග පිළිබඳ අයි.ටී.අයි. ආයතනයේ සිදු කර තිබෙන පර්යේෂණයකින් තහවුරු වී ඇති ආකාරයට ඒවායේ ෆාම් තෙල්වල තිබෙන්නට බැරි ට්‍රාන්ස් මේදය අඩංගුව තිබී ඇත. ඒ අනුව ලංකාවේ වෙළෙ¼දපොළේ අලෙවි කරන ෆාම් තෙල් වුව තත්ත්වයෙන් බාල වර්ගයන්ය. අනෙක් අතට පොල් තෙල් කියා අලෙවි කෙරෙන බොහෝමයක් තෙල්වලද පොල් තෙලක් නොමැති බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂක මහත්වරුන් විසින් කර ඇති සොයා බැලීම්වලදී අනාවරණය වී තිබේ. එබැවින් විශ්වාසවන්ත වෙළෙන්දකුගෙන් කල් වේලා ඇතිව හොඳ පොල් තෙල් මිල දී ගන්නට පිළිවන් නම් වඩා හොඳය.

කෑමට ගන්නා තෙල් වර්ග විවිධ විස රසායනික ද්‍රව්‍ය ගබඩා කර තිබූ ඇසුරුම්වල ගබඩා කිරීමද ඉතා බරපතළ තත්ත්වයකි. මෙවැනි අවස්ථා රාශියක් දිවයිනේ විවිධ ප්‍රදේශවලදී අනාවරණය වී ඇති අතර තමන් මිලදී ගන්නා පොල් තෙල් හෝ ෆාම් තෙල් ඇසුරුම් කර ඇති බැරල් එක නිරීක්‍ෂණය කර අවබෝධයක් ලබා ගැනීම පාරිභෝගිකයන්ගේ පැත්තෙන් ශරීර සෞඛ්‍යයට හිතකර වන්නේය.

රස කැවිලි මිලදී ගැනීමේදී ප්‍රවේශම් වන්න.

උත්සව සමයන්හිදී සාමාන්‍යයෙන් වෙළෙඳපොළ තුළ රස කැවිලි සඳහා ද විශාල ඉල්ලුමක් ඇති වන්නේය. මේ අතරින් කේක් බිස්කට්වලට හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයකි. වාරියපොළ ප්‍රදේශයේ එක්තරා ප්‍රසිද්ධ බිස්කට් සමාගමක තොග ගබඩාවක් පරීක්‍ෂා කිරීමේදී වෙළෙඳසල්වලින් ඉවත් කළ කල් ඉකුත් වූ බිස්කට්වල ඇසුරුම් ගලවා ඇසුරුම් නොමැතිව බජට් පැක් ලෙස නැවත සකස් කොට ලූස් බිස්කට් ලෙස, (විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල සති පොළවල්වලට යැවීමට) සකස් කරමින් තිබෙන අවස්ථාවකදී අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගන්නට නිලධාරීන්ට හැකි විය.

තව ද කල් තබා ගැනීමේ රසායනික ආකලන වර්ග වැඩියෙන් දමා නිෂ්පාදනය කෙරෙන රස කැවිලි ද මේ දිනවල වෙළෙඳපොළට පැමිණෙන්නට වැඩි ඉඩක් තිබේ. කේක්, බිස්කට්, මස්කට්, රුලං, වැනි පැකට් කළ රස කැවිලි ඇතැම් වෙළෙඳුන් පාරවල් අයිනේ හිරු එළියට නිරාවරණය වන සේ තට්ටු මත අසුරා විකිණීම ද සිදුකරයි. මෙවන් අවස්ථාවලදී හිරු එළිය වැටීම නිසාවෙන් ආහාරය තුළ තිබෙන ජලය

වාෂ්ප වී ආහාර ද්‍රව්‍ය දවටා තිබෙන පොලිතින් ඇසුරුම මත තැන්පත් වීම සිදුවේ. ඒ නිසා එම ආහාරය මුඩුවීම සහ පුස් කෑමට ලක්වීම සිදුවෙයි. කාලය ඉකුත් වීමේ දිනය ඉක්මවා නොතිබුණද එවැනි රසකැවිලි මිලදී ගැනීමෙන් වැළකිය යුතුය.

තව ද කාලය ඉකුත් වූ රස කැවිලි පැකට්වල ලේබලය

සූක්‍ෂ්මව මකා දින වෙනස් කළ ආහාර ද්‍රව්‍ය ද අධික ඉල්ලුමක් පවතින කාල වලදී වෙළෙඳපොළට දමන්නට ඇතැම් කූට වෙළෙඳුන් කටයුතු කරන ආකාරය මේ දිනවල සුලබව

නිරීක්‍ෂණය විය. (කේක්, බිස්කට්, සිසිල් බීම, කෝඩියල්, බේ‍රායිලර් කුකුල් මස්, අයිස් ක්‍රීම් වැනි නිෂ්පාදනවලටද පිටරටින් ආනයනය කරන ඇතැම් ආහාර නිෂ්පාදනවලටද මෙම අකටයුත්ත සිදුකර තිබෙන්නට පිළිවන) රස කැවිලි සම්බන්ධයෙන් සිදුවන වංචනික උගුල්වලින් ගැලවී සිටින්නට කළ හැකි හොඳම විකල්පය වන්නේ රස කැවිලි තමන් විසින්ම නිවෙසේ දී සකස් කර ගැනීමය.

තත්ත්වයෙන් බාල කළ මිරිස් තුනපහ

පුස් කෑ කුළුබඩු වර්ග, ආනයනික විස රසායනික ද්‍රව්‍ය අඩංගු මිරිස් පහේ වර්ග සුලබවම වෙළෙ¼දපොළට පැමිණෙන්නේ උත්සව කාලවලදීය. පුස් කෑ මිරිස් සහ කුළුබඩු වර්ගවලින් ආහාර පිසීමේ දී ඉවත් නොවන ඇෆ්ලටොක්සීන් නමැති විස රසායනිකය අඩංගු වන අතර මෙරට සකස් කළ කුළුබඩු නිෂ්පාදනවල හානිදායක මට්ටමක ඇෆ්ලටොක්සීන් තිබෙන බව රසායනාගාර පරීක්‍ෂණ මඟින් ද සනාථ වී තිබේ. පුන්නක්කු, ලී කුඩු, දහයියා, ලුණු, පාන් පිටි, ගම් වර්ග, රෙදි ඩයි වැනි ද්‍රව්‍ය එක් කර බාල කළ කහ කුඩු, මිරිස් කුඩු, තුන පහ නිෂ්පාදන ද වෙළෙඳපොළේ මේ දිනවල සුලබව හමුවෙයි. රස කැවිලි පමණක් නොව මිරිස් කුඩු, පහේ ජාති වැනි බොහෝ අත්‍යවශ්‍ය ආහාර නිෂ්පාදන තමන්ට නිවෙසේදී සකස් කර ගන්නට පිළිවන.

කුකුළු මස් කෑමේදී ප්‍රවේසම් වන්න

උත්සව සමයට ඉල්ලුම රොකට් වේගයෙන් ඉහළ යන තවත් ආහාරයක් වන්නේ කුකුළු මස්ය. එමෙන්ම ලංකාවේ ජනතාව වැඩියෙන්ම කුකුළු මස් අනුභව කරන කාලය වන්නේද අවුරුදු සමයයි. ලංකාවේ බේ‍රායිලර් කුකුළු මස් සහ බිත්තරවල වර්ධක උත්තේජක, ආසනික් වැනි බැර ලෝහ, ප්‍රතිජීවක ඔෟෂධ සහ වෙනත් හානිකර රසායනික ද්‍රව්‍යයන් අනතර්ගත වන්නේ දැයි සොයා බැලීම සඳහා නීතිමය ප්‍රතිපාදන නොමැති බැවින් ඉතා අඩු දින ගණනකදී විශාල කර ගත් මේ කුකුළන් ආහාරයට ගැනීමේදී ප්‍රවේශම් වන්න. කුකුළු මස් පිසීමේදී උන්ගේ අක්මාව, වකුගඩු ආදී අභ්‍යන්තර ඉන්ද්‍රියයන් සහ සම් හා තෙල් කොටස් ඉවත් කිරීම අනිවාර්යයෙන්ම සිදු කරන්න. එමෙන්ම කල් ඉකුත් වූ නරක් වුණු කුකුල් මස් මෙන්ම විවිධ රෝගාබාධ නිසා මියගිය කුකුළන්ද නැවත ඇසුරුම් කර කල් ඉකුත් වීමේ දින වෙනස් කර වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමද මේ දිනවල සුලභව සිදු කෙරෙන තවත් මගෝඩි වැඩකි. ඒ සම්බන්ධයෙන්ද අවධානයෙන් සිටීම හොඳය. කුකුළු මස් සඳහා කෙනකුට තෝරාගන්නට තිබෙන හොඳම විකල්පය වන්නේ මුහුදු මාළු හෝ වැව් මාළුය.

කිතුල් පැණි කියා ඩයි සීනි පැණිවලට අහු වෙන්න එපා

කිතුල් පැණි සඳහාද වැඩි ඉල්ලුමක් මේ දිනවල තිබෙන නිසා ව්‍යාජ කිතුල් පැණි වැඩිපුරම වෙළෙඳපොළට පැමිණෙන කාලයක් වන්නේද අවුරුදු කාලයයි. මේවාට සීනි සහ ඩයි වර්ග අහිතකර අපද්‍රව්‍ය සහ රසායනික ද්‍රව්‍ය එක්කර තිබිය හැකි බැවින් ශරීර සෞඛ්‍යයට අහිතකර වෙයි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අනාවරණය කරගත්, කිතුල් පැණි වෙළෙන්දන් මේ දිනවල සිදුකරන කට්ට කපටි වැඩක් මෙසේය. සීනි සහ ඩයි වර්ග මිශ්‍ර කර කිතුල් පැණි බින්දුවක්වත් නැති පැණි
නිෂ්පාදනය කර ඒවා බෝතලයේ කට ළඟට අඟල් දෙකක් පමණ ඉඩ තබා පුරවා ඉතිරි අඟලක් පමණ ඉස්තරම්ම කිතුල් පැණිවලින් පුරවා ඇසුරුම් කර වෙළෙඳපොළේ අලෙවියට තබනු ලැබෙයි. මෙව්වා ඉස්තරම්ම කිතුල් පැණි, කාල බලල ගෙනි යන්න. වෙළෙන්දාගේ චාටු බස්වලට රැවටෙන පාරිභෝගිකයා පැණි බෝතලයේ කට ළඟ ඇති පැණි බිඳක් අල්ලට ගෙන කා බලන අතර ඇත්තෙන්ම ඒවා රස නහර පිනා යන කිතුල් පැණි බැවින් විශ්වාසයෙන් යුතුව ගෙන යති.

ගුල්ලන් මැරූ ධාන්‍ය වර්ග

ගුල්ලන්, කෘමීන් විසින් හානි කළ පුස් කෑ ධාන්‍ය සහල්, පරිප්පු, මුං ඇට වැනි ආහාර ද්‍රව්‍ය රසායනික ද්‍රව්‍ය යොදා කෘමීන් විනාශ කර නැවත සකස් කර වෙළෙඳපොළට එවීමේ ජාවාරමක්ද අනාවරණය වී තිබේ. එමෙන්ම පිටරටින් ගෙන එන බාල සහල් වර්ගවලට දේශීය සහල් කවලම් කිරීම, තත්ත්වයෙන් බාල සුදු සහල් වර්ගවලට ඩයි දමා රතු කැකුළු සහල් ලෙස අලෙවි කිරීම, බාල කසළ තේවලට ඩයි වර්ග සහ විවිධ රසායනික ද්‍රව්‍ය යොදා සකස් කළ විස තේ කොළ අලෙවි කිරීම, කෘමීන් සහ පණුවන් කෑ, දිරාගිය කරවලවලට ෆෝමලින්, රෙදි සෝදන පවුඩර් වර්ග, මදුරු කොයිල් කුඩු වැනි අපද්‍රව්‍ය මුසු කොට සකස් කළ කරවල සහ නරක් වුණු මාළු රසායනික ද්‍රව්‍ය යොදා කරවල සාදා වෙළෙඳපොළට එවීම කොයි කාලෙත් සිදු වුණද අවුරුදු කාලෙට එවැනි මගෝඩි වැඩ වැඩියෙන් සිදුවන බව අනාවරණය කරගෙන ඇත.

දුර ගමන් බස් රථ නතර කරන ආපනශාලා

නිතර ගමන් බිමන් යන මගීන් මේවායේ කෙරුවාවන් හොඳින් දන්නා නිසාවෙන් ප්‍රවේශම් වන්නට දනී. එහෙත් උත්සව සමයන්හි විශාල බඩගිනිකාරයන් පිරිසක් මේ අපායන්වලට පැමිණෙන බව දන්නා මේවායේ අයිතිකාර යමපල්ලන් ඉතිරි වන ඉඳුල් කුණු වී කල් ඉකුත් වුණු තත්ත්වයෙන් බාල ආහාර ද්‍රව්‍ය අසරණ පාරිභෝගිකයන්ට ගිල්ලවීමට සැදී පැහැදී සිටිති. මෙවැනි ස්ථාන රාශියක්ද පරීක්ෂා කර නඩු පැවැරීමට මේ දිනවල නිලධාරීන් කටයුතු කර ඇත. කෙසේ වෙතත් දුර ගමන් බස් රථ නතර කරන ආපනශාලාවකින් ආහාර ගන්නවා වෙනුවට ළඟ පාත කඩයකින් කෙසෙල් ගෙඩියක්, තැඹිලි ගෙඩියක් වැනි දෙයක් ආහාරයට ගන්නට වගබලා ගැනීම ඔබේ ශරීර සෞඛ්‍යයට හිතකර වනු ඇත.

සේල් නොදැම්මාට මිල අඩුවට දෙන ආහාර ද්‍රව්‍ය පිළිබද සැක කිරීම ඔබට වාසිසහගත වනු ඇත. ආවාට ගියාට හදිසියේ කඩේ යෑම හොඳ දෙයක් නොවේ. කඩේ යෑම කළ යුතු වන්නේත් පෙර සූදානමකින් යුතුව, යහපත් සිහියකින්ය. වර්ධනය වෙමින් පවතින්නේ ලාභය වෙනුවෙන් ඕනෑම ජඩ වැඩක් කරන්නට සැදී පැහැදී සිටින වෙළෙඳපොළක්ය. එහිදී අප කූට සමාගම් සහ වෙළෙන්දන් පිළිබඳ පතළ වූ කරුණාවෙන් කටයුතු නොකළ යුතුය.
අප එසේ අනුකම්පා කළොත් අවුරුද්දෙන් පසුව අපට යන්නට වෙන්නේ ඉස්පිරිතාල, මෝචරිවලටය.

ගැමුණු සාලිය පෙරේරා
උපාය මාර්ගික කළමනාකරණ ආයතනය මාධ්‍ය උපදේශක
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය
පරීක්ෂකවරුන්ගේ සංගමය

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon