‘පොහොට්ටුවට’ පාඩමක්

  👤  4733 readers have read this article !
By mawbima 2018-04-15

"එජාප ප්‍රතිසංවිධානය අප්‍රේල් 30ට කල් යයි"

ඒ, මේ දවස්වල පත්තරවල දකින්න තිබෙන ශීර්ෂ පාඨයකි.

"ශ්‍රී ලනිපය ජාතික ආණ්ඩුවෙන් ඉවත් විය යුතුයි! අවසන් තීරණය ගැනීමට මධ්‍යම කාරක සභාව යළි රැස්වේ!" මේ පත්තරවල දකින්න තිබෙන තවත් ශීර්ෂ පාඨයකි.
"ශ්‍රී ලනිප ඇමැතිවරු ඇමැති මණ්ඩලය වර්ජනය කරති!

මේ ශීර්ෂ පාඨයත් පසුගිය දිනවල දකින්නට ලැබිණි.
"පොරොන්දු වූ පරිදි නායකත්වය වෙනස් නොකළහොත් අගමැතිවරයාට එරෙහිව එජාපයෙන්ම විශ්වාසභංගයක් ගෙන එන ලකුණු"

ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලට වඩා සමාජ මාධ්‍යවල හුවමාරු වුණු තවත් පුවතක ශීර්ෂ පාඨය වූයේ මෙයයි.

මේ හැම පුවතකම ශීර්ෂ පාඨ දෙස බැලූ විට පැහැදිලි වන්නේ කුමක්ද..? මහින්ද ප්‍රමුඛ ඒකාබද්ධය පාර්ලිමේන්තුව ඇතුළේ පත්තු කරන ලද විශ්වාසභංග "බෝම්බයෙන්" ඔවුන් අපේක්ෂා කරන ලද ප්‍රතිඵල ලැබෙමින් පවතින බවද..? නොඑසේ නම් අන් යමක්ද?

පසුගිය පෙබරවාරි 10 මහින්දගේ "පොහොට්ටුව" පළාත් පාලන මැතිවරණය ජය ලැබුවේ ප්‍රතිවාදීන් සැවොම අන්දුන් කුන්දුන් කරවමින්ය. කොට්ඨාසවලින් 70%කට වඩා "පොහොට්ටුව" දිනුවේ මහින්දවාදී රැල්ලේ තරම මනාව පෙන්වා දෙමින්ය. එය "පොහොට්ටුවේ" සුවිශේෂී සංවිධාන හා ප්‍රචාරණ මෙහෙයුමකින් නිපදවන ලද ජයක් වූවාට වඩා මහින්ද නමැති දේශපාලන සාධකය කේන්ද්‍ර කරගත් ඒ වටා රොද බඳින ලද මහජන ක්‍රියාකාරිත්වයක ප්‍රතිඵලයකි.

එම ඡන්ද ප්‍රතිඵලයෙන් පසුව, එජාපයට "ඉන්න නායකයා" වෙනුවට "වෙනත් නායකයකු" ඕන විය. ජනාධිපති සිරිසේන යටතේ ඉන්නා ශ්‍රී ලනිප මැති ඇමැතිවරු බොහොමයක් ආණ්ඩුවෙන් එළියට නොගියහොත් තමන්ගෙ අනාගතය අවිනිශ්චිත බව වටහාගත්හ. මහින්දගේ ඡන්ද 45%ත් මෛත්‍රිගේ ඡන්ද 13%ත් එකතු වුවහොත් සුළු ජාතික පක්ෂවල බලපෑමෙන් තොරව බලය පිහිටුවන්නට පුළුවන් බව පෙබරවාරි 10 ප්‍රතිඵලයෙන් පෙනුණු විට සම්පන්දන්ලා පමණක් නොව හකීම්ලා හා රිෂාඩ්ලාද තක්කු මුක්කු වූහ. 10%ක පමණ ඡන්ද ප්‍රතිශතයක් තමන් හිමිකර ගනු ඇතැයි බලාපොරොත්තුවෙන් "ගම ජවිපෙට" ඉල්ලූ අනුර දිසානායකට ලැබුණේ ඡන්ද 6%ක තරම් අඩු ප්‍රතිශතයක් බව පෙනුණු විට දේශපාලන සුළඟ හමනුයේ තමන් අකැමැති දිශාවට බව ජවිපෙට වැටහී ගියේය. දෙමළ ජාතික සන්ධානයේද ඡන්ද ප්‍රතිශතය කලින්ට වඩා පහළ බැස තිබිණි. මහින්දගේ කඳවුර හැර අන් සෑම දේශපාලන කඳවුරකටම පෙබරවාරි 10 ඡන්දයෙන් බරපතළ තුවාල හෝ සුළු තුවාල ඇති විය.

මහ ආණ්ඩුවට බලපෑම් කළ නොහැකි "පුංචි ඡන්දයෙන්" එච්චර පිපිරීමක් ඇති කළ මහින්ද ඊළඟට බැලුවේ ඒ කම්පන තරංග පාර්ලිමේන්තුව තුළට රැගෙන යෑමටය. අගමැතිට එරෙහි "විශ්වාසභංගය" කරළියට එන්නේ ඒ සඳහාය.

ඒකාබද්ධයේ සමහරුන්ට නම් "විශ්වාසභංගය" ගැන එතරම් විශ්වාසයක් නොතිබුණු බව පැහැදිලිය. ඒ අයගේ මතය වී ඇත්තේ රනිල් දිගටම බලයේ සිටීම ඉදිරි ජනාධිපතිවරණයකදී තමන්ට වාසිදායක වනු ඇති බවය. රනිල් බලයෙන් ඉවත් කරනු ලැබුවහොත් ජනාධිපතිවරණයකදී පැරදවීම අසීරු වනු ඇති බවය.

රනිල්ට තනතුරු අහිමි වුවහොත් එජාපය ස්ථාවර වනු ඇතිද? නව තනි නායකයකු වටා එජාපය එක්රොක් වනු ඇතිද?

පළාත් පාලන ඡන්දයේදී එජාපය ලබාගත් 29%ක ඡන්ද ප්‍රතිශතය ඉහළ නංවා ගනු හැකි වේද?

ප්‍රශ්නය දෙස මතුපිටින් පමණක් බලන ඕනෑම අයකු මේ ප්‍රශ්නවලට දෙන්නේ "ඔව්" යන පිළිතුරය. එහෙත්, හරියට ගැඹුරින් එජාපයේ අවුල්හඳුනා නොගන්නා කෙනකු මේ ප්‍රශ්නයට දෙන්නේ "නැත" යන පිළිතුරය.

රනිල්ට තනතුර අහිමි වුවහොත් තවදුරටත් අනතුරේ වැටෙන්නේ එජාපයමය. එතැන් සිට ඇති වන්නේ එජාප නායකත්වය සඳහා බලු පොරයකි. රවි කරුණානායක, සජිත් ප්‍රේමදාස, නවීන් දිසානායක යනාදීන් පිල්වලට බෙදී එජාපයේ නව නායකයා බවට පත්වීමට පොරකෑමේ ජවනිකා එතැන් සිට දේශපාලන රඟමඬල තුළ දිගහැරෙනු නිසැකය. එම අලුත් පොරපිටිය විවෘත කර දිය හැකි නම් එය සිදුකිරීම ආණ්ඩු විරෝධීන්ගේ වගකීමය. මහින්ද විශ්වාසභංග තුරුම්පුව ඇද්දේ මේ බව නිවැරැදිව වටහාගෙනය.

දැන් විශ්වාසභංග යෝජනාවේ ප්‍රතිඵල නිකුත් වී දින ගණනාවක් ගෙවී ගොස් තිබේ. 54ක්ව තිබූ ඒකාබද්ධ විපක්ෂයේ ගොඩට "මෛත්‍රි සෙවණේ" සිටි ශ්‍රී ලනිප මැති ඇමැතිවරුන් දහසයක් එකතුවීමද විශ්වාසභංගයෙන් මහින්ද ලද පළමු ජයයි. එය 16කින් නිමා නොවනු ඇත. දැන් ශ්‍රී ලනිප මධ්‍යම කාරක සභාවේ සාකච්ඡා වන්නේ "ජාතික ආණ්ඩුවෙන්" ශ්‍රී ලනිපය ඉවත්වීම ගැනය. මේ වනවිට ඇමැතිවරුන් ඇමැති මණ්ඩලයද වර්ජනය කොට ඇත.

විශ්වාසභංගයේ ප්‍රතිඵලයක් ලෙස ඊනියා ජාතික ආණ්ඩුව අවසාන වුවහොත් එයම වැදගත් ජයග්‍රහණයක් නොවන්නේද? එවිට ඇතිවන යූඑන්පී+ටීඑන්ඒ ආණ්ඩුවට ඇමැති තනතුරු ලබාදිය හැක්කේ 30කට වඩා අඩුවෙනි. එවිටද තමන්ට ඇති තනතුරු නොලැබීමේ වේදනාවෙන් පෙළෙන එජාප මන්ත්‍රිවරු සංඛ්‍යාව අදට වඩා ඉහළ යනු නිසැකය. අනෙක් අතට, තනි එජාප ආණ්ඩුවකට දෙමළ ජාතික සන්ධානය ඉල්ලන "අභ්‍යන්තර ස්වයං පාලනය" ලැබෙන ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට හැකි වන්නේද නැත. "මොනවා වුණත් ජාතික ආණ්ඩුව තියාගන්න" යැයි බටහිර හා ඉන්දීය තානාපති කාර්යාල ජනාධිපති මෛත්‍රිට හා අගමැති රනිල්ට පවසන්නේ ඔවුන්ට ඕනෑ වැඩ ටික කරගන්න නම් "මේ ජාතික ආණ්ඩුව" පවත්වා ගැනීම අත්‍යවශ්‍ය නිසාය. එබැවින්, විශ්වාසභංගයෙන් පසු ප්‍රතිඵලයක් ලෙස "ජාතික ආණ්ඩුව" අවසන් වුවහොත්, රට ඇදගෙන යමින් තිබුණු අනතුරුදායක මාවතෙන් මඳක් හෝ ඉවතට ගැනීමක් ලෙස එය තේරුම් ගන්නවා මිස අප තේරුම් ගත යුත්තේ අන් කවර අයුරින්ද?

ශ්‍රී ලනිපය විපක්ෂයට ආවොත් ජනපති ආණ්ඩුව තුළ තනිවනු ඇත. එහෙත්, ඔහු අනාරක්ෂිතව, අගමැතිවරයාට යටත් වූ ජනාධිපතිවරයකුගේ භූමිකාව තෝරාගන්නවා වෙනුවට දැනට දෙදෙනා තුළ පවතින "සීතල යුද්ධය" උණුසුම් කරන පියවර කරා ගමන් නොකරනු ඇතැයි සිතිය නොහැකිය. ශ්‍රී ලනිපය විපක්ෂයට පැමිණීම යනු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නමැති දේශපාලන සන්ධානයට ශ්‍රී ලනිපයද එක්වීමය. එය කඩිනමින් නොවුණහොත් ක්‍රමයෙන් සිදුවනු ඇත. මෛත්‍රිගේ 13% මහින්දගේ 45% දේශපාලන වශයෙන් සන්ධානගත වීමට මඟ පෑදෙන්නේ එමඟින්ය. සුළු ජාතිවාදී දේශපාලන පක්ෂවල අසාධාරණ බලපෑමට යටත් නොවී නව පාලනයක් පිහිටුවන්නට හැකි වන්නේද ඒ හරහාය.

"පොහොට්ටුවේ" සමහරු මේකට කැමැති නැත. ඒ අකැමැති අයට වුවමනා වී ඇත්තේ සුළු ජාතිවාදී දේශපාලන පක්ෂවල අසාධාරණ බලපෑමට අවනතව බිහිවන පාලනයක් මිස එම බලපෑමෙන් වියෝ වූ පාලනයක් පිහිටුවන්නට නොවේ. ලංකාව අස්ථාවර කොට ගිල ගැනීමට කුරුමානම් අල්ලන ඇතැම් විදේශ තානාපති කාර්යාලවලටද වුවමනා වී ඇත්තේ එයමය. ඒකාබද්ධය කළ යුත්තේ තානාපති කාර්යාලවලට වුවමනා වී තිබෙන ක්‍රියාමාර්ග ගැනීමද? නොඑසේ නම් ඊට ප්‍රතිවිරුද්ධ ක්‍රියාමාර්ග ගැනීමද?

පෙබරවාරි 10 මහින්දවාදී මහජන නැඟිටීමේ ප්‍රතිඵලයක් ලෙස අගමැතිට එරෙහි විශ්වාසභංගයට මාවත විවෘත විය. "විශ්වාසභංගය" ඡන්දෙන් මහින්ද පැරදුණත්, දේශපාලනිකව දිනුම්ය. ඒ ශ්‍රී ලනිපය ආණ්ඩුවෙන් පක්ෂයක් ලෙස හෝ බහුතර මන්ත්‍රි කණ්ඩායමක් ලෙස හෝ ගැලවී විපක්ෂයට එන පොට පෑදුවේ "විශ්වාසභංගය"නිසාය. එය මහින්දගේ 45%ත් මෛත්‍රිගේ 13%ත් කාටත් හොරා ඒකරාශී වන තැනය. ඒකාබද්ධය කළ යුත්තේ ඒ දිශාවට තව තවත් පියවර නැඟීමය. එසේ නොකළහොත් ඒකාබද්ධයට වැටෙන්නට ඇත්තේ සුළු ජාතික පක්ෂවල අසාධාරණ බලපෑම්වලට නතු වූ අනාගත පාලනයක් බිහිකරන මඟටය. ඒ මඟ බලකාමීන්ට රසවත් මඟක් විය හැකි වුවත් රටට ආදරය කරන බලවේගයන්ට සතුටු විය හැකි මඟක් නොවන බව පැහැදිලිය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon