පොලිස් සරඹ පොත සිංහලට හරවපු හැටි පොලිස් පරීක්‍ෂක පුංචි බණ්ඩා ‘මව්බිම’ට කියයි

  👤  3607 readers have read this article !
By mawbima 2018-04-15

වර්ෂ 1829 සැප්තැම්බර් 29 දින ප්‍රථම පොලිසිය බිහිවන්නේ එංගලන්තයේය. එංගලන්තයේ බිහිවුණු පොලිසිය අපට ලැබෙන්නේ බි්‍රතාන්‍ය ජාතිකයන් විසින් ලංකාව ආක්‍රමණය කොට මෙහි ඔවුන්ගේ බලය ස්ථාපිත කරනු ලැබීම නිසාය. බි්‍රතාන්‍ය රැජනගේ අණසක රටපුරා පතුරුවා ගැනීමටත්, නීතිය හා සාමය ආරක්‍ෂා කිරීමටත් අවශ්‍ය වූ බැවින් එංගලන්තයේ බිහිවූ පොලිසිය ලංකාවේ ඇරැඹෙන්නේ 1866 සැප්තැම්බර් 03දාය.

ඉංගී්‍රසීන්ගේ පාලන සමයේ පොලිසියේ සෑම වැඩකටයුත්තක්ම කෙරෙන්නේ ඉංගී්‍රසි භාෂාවෙනි. නමුත් එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා බලයට පත්වීමෙන් පසු සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම නිසා සිංහල භාෂාවෙන් වැඩකටයුතු කිරීමට පොලිසියටද හැකිවිය. මේ කතාව පොලිසිය ගැන නොව පොලිස් කොස්තාපල්වරයකු ලෙස සේවයට බැඳී එතෙක් කලක් ඉංගී්‍රසියෙන් තිබූ පොලිස් සරඹ ර්ථීධතඪජඥ ච්පඪත ඕධධඬ මීට වසර පනහකට පමණ පෙර සිංහලට පරිවර්තනය කළ පොලිස් නිලධාරියකු ගැනය. ඒ මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර වලගම පදිංචි පුංචි බණ්ඩා යාපා මහතායි.

මේ ඔහු කියන කතාවයි.
මම උපන්නේ 1922 මාර්තු 18 වැනිදා. ඉගෙන ගත්තෙ හන්දෙස්ස විද්‍යාලයෙන්. පස්සේ මම පේරාදෙණිය ද්විභාෂා පාසලට ඇතුළු වී එහි අට පාස් කළා. තවදුරටත් ඉගෙන ගන්න මොනිටර් ක්ලාස් එකට යන්න මගේ ආශාවක් තිබුණේ නෑ. මගේ ආශාව තිබුණේ පොලිස් නිලධාරියකු වෙන්න. අපේ මාමා කෙනෙක් හිටියා කොටුවෙගෙදර කියා පොලිස් පරීක්‍ෂකවරයෙක්. මම මාමාට කීවා මම පොලිසියට යන්න ආසයි කියලා. ඒ මාර්ගයෙන් මට පොලිසියට යන්න හැකි වුණා.

පොලිස් කොස්තාපල්වරයෙක් ලෙස මම පොලිසියට බැඳුණේ 1942. ඒ කාලේ පොලිසිය පාලනය කළේ සුදු නිලධාරීන්. පොලිසියේ හැම වැඩක්ම කෙරුණේ ඉංගී්‍රසියෙන්. ඉතින් මට ඉංගී්‍රසි හොඳට පුළුවන් නිසා රාජකාරිය ප්‍රශ්නයක් වුණේ නෑ. බස්නාහිර, මධ්‍යම, උතුරු මැද පොලිසි ගණනාවක සේවය කළා. ඒ කාලේ පොලිසියට එන හැම පැමිණිල්ලක්ම ඉංගී්‍රසියට පරිවර්තනය කළ යුතු වුණා. ඉතින් අයි.බී. එක දෙකට බෙදලා එක පැත්තක සිංහලෙන් පැමිණිල්ල ලියාගන්නවා. පස්සේ ඒකෙ අනෙක් කොටසේ ඉංගී්‍රසියට පරිවර්තනය කරලා ලියන්න ඕනෑ. ඒ ඉහළ සුදු නිලධාරීන්ගේ දැන ගැනීමට. ඉතින් පොලිස් ස්ථානයෙන් පිට රාජකාරිවලට වඩා මට කරන්න වුණේ පොලිසිය ඇතුළෙම වැඩ. මම හිටිය බොහෝ පොලිසිවල දවසේ ලැබෙන පැමිණිලි සියල්ලක්ම බොහෝ විට ඉංගී්‍රසියට පරිවර්තනය වුණේ මගේ අතින්.

1952 වසරේ මම සේවය කළේ අනුරාධපුරයේ. ඒ කාලේ අපි කීපදෙනකුට සාජන් තනතුරට උසස්වීම් ලැබුණා. ඒ නිසා කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පුහුණුවට යන්න සිදුවුණා. පුහුණුවෙන් පස්සේ අනෙක් අය තම පොලිස් ස්ථානවලට ගියත් මට එහේ ඉන්න සිදුවුණා. ඒ මගේ දක්‍ෂතාවත් ඉංගී්‍රසි දැනීමත් නිසා. පස්සේ මට පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පුහුණු කරවන නිලධාරියෙක් ලෙස සේවය කරන්න සිදුවුණා.

ඒ කාලේ වෙනකොටත් පොලිසියේ ගොඩක් වැඩ කෙරුණේ ඉංගී්‍රසියෙන්. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහත්තයා අගමැති වුණාට පස්සේ සිංහල රාජ්‍ය භාෂාව කළා. ඉතින් පොලිසියේ වැඩකටයුතුත් සිංහලෙන් කරන්න වුණා. ඒ කාලේ පොලිස් අභ්‍යාස විද්‍යාලයේ අධ්‍යක්‍ෂ ධුරය දැරුවේ ටි.බී. වේරපිටිය මහත්තයා. එතුමට ඕනෑ වුණා පොලිසියෙ සියලුම රාජකාරි සිංහලෙන් කරන නිසා පොලිස් නිලධාරීන් පුහුණු කරන මේ පොතත් සිංහලට පරිවර්තනය කරන්න. ඉතින් ඒ රාජකාරිය පැවැරුණේ මට.
අමාරුම රාජකාරිය වුණේ (පොලිස් ඩ්‍රිල්) සරඹ සිංහලයට පරිවර්තනය කිරීම. මෙහි පෙළපාළි, ආචාර විධි, නිල ඇඳුම් පරීක්‍ෂාව වගේ ගොඩක් කරුණු අඩංගු වෙලා තියෙනවා. කොටින්ම කියනවා නම් 'ලෙෆ්ට් රයිට්' කියන එකේ පටන් හැම දෙයක්ම සිංහලට පරිවර්තනය කරන්න වුණා. ඒක භාරධුර වැඩක්. ඒ රාජකාරිය පැවැරුණේ පෙළපාළි උපදේශකවරුන්ට. මේ සඳහා උචිත සිංහල හා පාලි වචන සොයා ගන්න ඕනෑ වුණා.

මෙහිදී අපරාධ පරීක්‍ෂණ අංශයේ පොලිස් පරීක්‍ෂක හෑගොඩ මහතා ඡායාරූපකරණයෙන් සහාය වුණා. පොලිස් සැරයන් වික්‍රමරත්න මහතා ඇතුළු නිලධාරීන් සහාය දැක්වූ අතර පො.කො. ගුණවර්ධන මහතා සිංහලෙන් යතුරුලියනය කළා. මෙහිදී හැම දෙයක්ම ප්‍රායෝගිකව කරන ගමන් සිංහලට පරිවර්තනය කරන්න වුණා. ඊට පස්සේ ඉහළ නිලධාරීන්ගේ අනුමැතිය ගන්නත් සිංහලට පරිවර්තනය කළ පසුව ප්‍රායෝගිකව කර පෙන්වන්නත් වුණා. මේ වැඩේට අවුරුදු 03ක් විතර ගියා. ඉතින් ගෙදර ගියාමත් මගේ වැඩේ මේ පොත සිංහලට පරිවර්තනය කිරීම. මට දුන්න හැම රාජකාරියක්ම අවංකවත් නිවැරැදිවත් කළා. පොලිසියේ රාජකාරිය කරන කාලයේ මට කිසිදු චෝදනාවක් තිබුණේ නෑ. කිසිවිටෙක විනය විරෝධී වැඩ කළේ නෑ. ඉතින් ඒ නිසා පොලිස් කොස්තාපල්වරයකු වූ මට සාජන්, සාජන් මේජර්, උප පොලිස් පරීක්‍ෂක, පොලිස් පරීක්‍ෂක වැනි නිලයන් පහකට උසස්වීම් ලැබුණා. මට පොලිස් අධිකාරි නිලයට එන්න බැරි වුණේ අවුරුදු 55 මම විශ්‍රාම ගත්ත නිසා. පොලිසියේ අවුරුදු 35ක සේවා කාලය ගැන මට තියෙන්නේ සතුටක්. ඒ වගේම අපි කළ දේවල් අදටත් හෙටටත් පවතිනවා.

මම විවාහ වුණේ පොල්කොටුව වලව්වේ මාලිනී කුමාරි සමඟ. මට දුවෙක් සහ පුතෙක් ඉන්නවා. දුව ගුරුවරියක්. වෛද්‍යවරයකු සමඟ විවාහ වී එංගලන්තයේ පදිංචිවී සිටිනවා. පුතා ග්‍රාම නිලධාරිවරයෙක්. උඩුනුවර ප්‍රදේශීය ලේකම් කාර්යාලය යටතේ පාලනය වන අලපලාවල වසමේ සේවය කරනවා.

විශ්‍රාම ගත්තට පස්සේ මම අක්කර 6ක් විතර තියෙන ඉඩමේ අක්කර 03ක විතර තේ වගා කළා. පස්සේ බිත්තර ලබාගැනීම සඳහා කුකුළු ගොවිපොළක් කළා. දවසක් මම නුවර යන කොට හරක් 06 දෙනෙක් ඇති කරන කෙනෙක් හමුවී දැන් හරක් බලාගන්න බෑ, විකුණන්න ඕනෑ කීවා. පස්සේ මම ඒ හරක් 06 දෙනාම මිලදී ගත්තා. පස්සේ මම ගොවිපොළක් කළා. උඩුනුවර පාර්ලිමේන්තු මන්ත්‍රි ඩී.බී. විජේතුංග මහත්තයා මගේ හොඳ මිතුරෙක්. 1977 මම විශ්‍රාම අරන් ඉන්න කොට එතුමා ඇවිත් කීවා 'යාපා මම මේ සැරේ ඉල්ලනවා. උදවු කරන්න' කියලා. මම විශ්‍රාමික නිසා එතුමාට උදවු කළා. පස්සේ මන්ත්‍රි, ඇමැති, අගමැති, ජනාධිපති පුටුව දක්වාම ගියා. නමුත් මම කිසිම දෙයක් ඉල්ලුවේ නෑ. සමාජයට සේවයක් කරන්න සාමදාන විනිශ්චයකාර පදවියක් මට ලබා දුන්නා. මම ඒකෙන් සතුටු වුණා.

මගෙ ළඟ තිබුණු ගොඩක් විස්තර ලිපි මම මෑතකදී පුච්චලා දැම්මා. දැන් තියෙන්නේ එක පොතකුයි, පින්තූර කීපයකුයි විතරයි.

'ගෙදර කට්ටියම ඉන්න පින්තූරයක් නැද්ද' මම ඇසීමි.

'මෙතැන තියෙන්නේ මඟුල් පින්තූරෙ. ඔක්කොමලා ඉන්න පින්තූරයක් නැති එකත් අඩුවක්. දැන් ඉතින් ඔක්කොමල එක තැනක නෑනේ.'

සිහිවටන නැතත් ඔහු කළ සේවය පොලිස් දෙපාර්තමේන්තුවටම අගනා තිළිණයකි.

මහේන්ද්‍ර රන්දෙණිය

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon