කිව්වට කම් නැති ඇහුවත් රස ඇති පතිරණ අක්කගෙ කැවිලි කතාව

  👤  3370 readers have read this article !
By mawbima 2018-04-15

අවුරුද්ද වෙනස් වෙලාය. බොහෝ සෙයින් වෙනස් වෙලාය. මීට දශක කීපයකට පෙරත් අවුරුද්දට තෙල් තාච්චියක් ළිපේ තියෙන එක අවුරුද්ද ලබන්නා වගේම අලුත් හැඟීමකින් යුතුව කළ කටයුත්තක්ය. කැවිලි හදන්නට තෙල් තාච්චිය ළිපේ තියන නැකැතක්ද විය. ඒ කැවිලි පෙවිලි අවුරුදු කෑම මේසයට ගොස් නැකැතට ඉඳුල් කරන තෙක් තහංචි වැටී තිබිණි. කොණ්ඩ කැවුම්, ආස්මී වැනි කැවිලි හැදීම ගෙදර ඇත්තන්ගේ හපන්කම් කියන ප්‍රකාශනයක් බවට පත්ව තිබිණි. හරි විධියට කොණ්ඩ කැවුමක් තනාගන්නට හැකි ආස්මීයක් තනාගන්නට හැකි බවලත් ඇත්තන් අවුරුද්දට පිපෙනා එරබදු මල් තරමටම ගම්මණ්ඩියේ බැබළුණු කාලයක් තිබිණි.

ඒ සම්ප්‍රදාය වෙනස් වන්නේ අපේ ජීවිත ගලායන රිද්මයේ වෙනසත් සමඟය. මේ වන විට කැවිලි තනාගැනීමේ සංස්කෘතිය වෙනස් වී ගියත් තවමත් අවුරුදු මේසය සරසන සාම්ප්‍රදායික කැවිලි වර්ගවලට ලැබී ඇති වටිනාකම වෙනස් වී නැත. මේ හිදැස පුරවන්නට කැවිලි තැනීමේ කුසලතාව සහිත පිරිසක් වෘත්තීය වශයෙන් බිහි වී සිටී. අවුරුද්දට මේ ඇත්තන්ට ඇත්තේ මහා ඉල්ලුමකි. ඔවුහු බොහෝ දෙනෙක් අවුරුද්දේ යමක් උපයාගනිති.

බෙලිඅත්ත පට්ටියවෙල ප්‍රදේශයේදී අපට මුණගැසෙන පතිරණ අක්කා එවැන්නියකි. ඇය අලුත් අවුරුදු කාලයට මෙන්ම විවිධ උත්සව අවස්ථාවලට රස කැවිලි නිෂ්පාදනය කරමින් අවුරුදු 8කට ආසන්න කාලයක සිට මෙම කාර්යයේ නිරතව සිටී.

පතිරණ අක්කාගේ නම පී.වී.වයි. පතිරණය. ඇය අවුරුදු තරම් අලුත් සිනාවකින් මුව සරසාගෙන අප හා කතාබහට එක් වුණාය.
'අපේ අම්මා ඉස්සර රස්සාවක් හැටියට කළේ කැවුම් කොකිස් හදලා කිට්ටුව කඩවල්වලට දාන එක. මමත් ඒ දවස්වල අම්මට ඒවාට හරි හරියට උදවු කළා. ඒ නිසා මටත් විවිධ කැවිලි වර්ග හදන්න ඉගෙන ගන්න පුළුවන් වුණා. කැවුම් හදන්න ඉගෙන ගන්නකොට කැවුමේ කොණ්ඩය හදාගන්න මට බෑ. එතකොට අම්මා මට ටොකු ඇන ඇනා කියලා දුන්නා කැවුම් හදන හැටි.'

'මම හදන්න පුරුදු වෙලා හිටියේ ඉඳිආප්ප. අම්මා හින්දා මට කැවිලි හදන්න පුළුවන් වෙලා තිබුණෙ. පස්සේ මම කැවුම්, කොකිස් වගේම වැලිතලප ආස්මී වගේ කැවිලි වර්ග හදලා කඩවලට දමන්න පටන් ගත්තා. ටික කාලයක් යනකොට මේ අවට තියෙන දානේ ගෙවල්, පින්කම් ගෙවල්, මඟුල් ගෙවල්වලට අවශ්‍ය වන රස කැවිලි වර්ග හදවගන්න අපේ ගෙදරට ඇවිල්ලා ඇණවුම් ලබා දෙන්න කට්ටිය පටන් ගත්තා. සමහර උත්සව කාලවලට තනියම මට විතරක් මේ දේවල් කරගන්න බැරි වුණාම අපේ අක්කත් ඇවිල්ල මට උදවු කරනවා. සමහරදාට අසල්වැසියනුත් ඇවිල්ලා මට උදවු කරනවා. ඒ විතරක් නෙවෙයි මේ වෙනකොට තරුණ ගෑනු ළමයි පවා කැවිලි හදන විධිය ඉගෙන ගන්න මං ළඟට එනවා. දැන් ගමේ හා ඒ අවට කොහේ දානෙ ගෙයක් තිබුණත් මං ඒ තැන්වල කැවිලි හදන්න යනවා. දැන් මම මේ දේවල් කරන්න පටන් අරන් අවුරුදු 08ක් පමණ වෙනවා.' පතිරණ අක්කා කැවිලි ව්‍යාපාරයක් වශයෙන් කරගෙන යනවා පමණක් නොව එම සාම්ප්‍රදායික ඥානය තරුණ පරම්පරාවට ලබා දෙන ගුරුවරියක්ද වී සිටින්නීය. ඒ සම්බන්ධව ඇයට ඇත්තේ ආඩම්බරයකි.

අද වන විට මේ කැවිලි ව්‍යාපාරය මං ඉතා ජයට කරගෙන යනවා. මම මේ පදිංචි වෙලා ඉන්න ඉඩම් ගන්න වගේම මේ නිවෙස හදා ගන්නත් අවස්ථාව ලැබුණේ මම මේ කරගෙන යන ව්‍යාපාරයෙන් හරි හම්බ කරගත්ත මුදලින් තමයි. මට ඉන්නේ එකම පුතයි. ඔහු ශිෂ්‍යත්ව විභාගෙනුත් සමත් වෙලා දැන් 07 වසරේ ඉගෙනුම ලබනවා. පුතාගේ ඒ ඉගෙනුම් වැඩකටයුතුවලට වියදම් කරන්නෙත් මේ හම්බ කරන සල්ලිවලින් තමයි. අද වන විට රසකැවිලි නිෂ්පාදන ව්‍යාපාරයක් විධියට මම මේක රජයේ ලියාපදිංචි කරලා තියෙන්නේ. මේ දවස්වල නම් නිවාඩුවක් නෑ. අලුත් අවුරුද්දත් එක්ක කැවිලි වර්ගවලට ලොකු ඉල්ලුමක් තියෙනවා. ඇතැම් වෙලාවට තියෙන ඕඩර් දීගන්නත් බෑ. මං කැවිලි ඕඩර් ගන්නේ මට කරන්න පුළුවන් ප්‍රමාණයට විතරයි. එහෙම නැතිව තණ්හාවට එන හැම ඕඩරයක්ම මං ගන්නේ නෑ. අනෙක තමයි මගේ කැවිලිවලට තවම හොඳ ඉල්ලුමක් එන්නේ මං හදන කැවිලි උපරිම පිරිසුදුවට රසට හදන නිසයි.'

'මං ඉදිරියේදී බලාපොරොත්තුවෙන් ඉන්නේ වෙළෙඳසලක් ආරම්භ කිරීමට.' මේ වැඩ ටික කරගෙන යනකොටත් සෑහෙන බාධක ආවා. ඒත් මම ඒවාට සැලුණේ නැහැ. ඒ නිසා අද මට මගේම කියලා ව්‍යාපාරයක් කරගෙන යෑමට හැකියාව ලැබිලා තියෙනවා' යැයි ඇය පැවැසුවාය.

සංස්කෘතියක් විනාශ වන්නේ නැත. සිදුවන්නේ එහි ස්වරූපය වෙනස්වීම පමණි. ස්වරූපය වෙනස් වී එය අඛණ්ඩව ගලාගෙන යන්නේය. පතිරණ අක්කා වැනි තවත් බොහෝ දෙනෙක් දැන් මේ රට තුළ මේ මට්ටමින් පළාත් මට්ටමින් කැවිලි තැනීමේ සාම්ප්‍රදායික ඥානය සිය ජීවන වෘත්තීය කරගෙන පවත්වාගෙන යන්නේය. සංස්කෘතියක විශිෂ්ටම ඥාන සම්පත ඒ සංස්කෘතිය තුළ උපදිනා ආහාර රටාවය. එය පරපුරෙන් පරපුරට ආරක්ෂා කරගෙන යන ක්‍රමවේදයක් ගැමියාගේ ජීවන රටාව තුළ තිබිණි. අද ඒ දැනුම සම්ප්‍රේෂණය කරන විධික්‍රමය ඇත්තේ පතිරණ අක්කලා වැනි අයගාවය. කම්පනයකින් තොරව මේ නව ප්‍රවේශය පිළිගැනීමට අපට සිදුවී තිබේ.

මත්තල -ඩී.එන්. ජයසේකර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon