දඹුලු ඔයට මරු පෙන්නන වැලි හොරු පන්නන දවස කවදාද?

  👤  3434 readers have read this article !
By mawbima 2018-04-15

වෙළෙඳ භාණ්ඩයකට මූල්‍යමය වටිනාකමක් ඇත. යම් භාණ්ඩයකට මිලක් නියම වීමට නම් එයට නිෂ්පාදන පිරිවැයක් ද තිබිය යුතුය. කිසිදු වියදමක් හෝ ශ්‍රමය වැගිරීමක් නොමැතිව නිර්මාණය වී ඇති සොබාදහමටද අද මිනිසුන් මිලක් නියම කර ඇත. මේවාට ආසාවක් කෑදරකමක් දක්වන ඇතැම් මිනිස්සු ඒවා සල්ලි ඉල්ලම් බවට පත් කර ගැනීමට වෙහෙසෙති. මහ පොළොවේ වැලි සහ පස්ද හොඳට විකිණෙන වෙළෙඳ භාණ්ඩ බවට පත්ව ඇත. මේ නියතියට ස්වභාව ධර්මයේ අපූර්වතම නිර්මාණයක් වූ දඹුලු ඔයද හසු වී හමාරය. ඒ වැලි වෙළෙ¼දාම නිසාය.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ වන සතුන්ට ඉතිරිව ඇති එකම සුරක්ෂිත අභය භූමිය කහල්ල පල්ලේකැලේ රක්ෂිතයයි. මෙම අභය භූමිය වන සතුන්ට සුපෝෂණ කලාපයක් බවට පත්ව ඇත්තේ ඒ මැදින් ගලා ගෙන යන දඹුලු ඔය නිසාය. අතු ශාඛා කිහිපයකට බෙදී මේ නොඉඳුල් ඔය නිසොල්මනේ ගමන් කිරීමට වෙර දැරුවත් අද දඹුලු ඔය ගලන්නේද වැලි වෙළෙ¼දාමට අවනතවය.

දඹුලු ඔයේ පාරිසරික අර්බුදය බරපතළය. වැටලීම, අධිකරණයේ නඩු පැවැරීම වැරැදිකරුවන්ට දඩ නියම කිරීම් ආදී ක්‍රියාමාර්ග අඩුවක් නැති මුත් මේ ක්‍රියාදාමයද නොනවතින හැඩකි. පරිසරය කෙලෙසා දමන නීති විරෝධී ජාවාරම් හමුවේ නිහඬ කළ නොහැකි ප්‍රදේශවාසීන්ගේ සහ පරිසර හිතකාමීන්ගේ හඬක් ද ඊට එරෙහිව නැතුවා නොවේ.

වැලි ප්‍රවාහනයේදී සහ ගොඩදැමීමේදී පවතින නීතියට පටහැනි සියල්ල දඹුලු ඔයේ වැලි ගොඩදැමීම හරහා සිදුවන බවට ජනතාව චෝදනා කරති. ඔයට ට්‍රැක්ටර් බැස්සවීම, වැලි ගොඩදැමීමට බෝට්ටු යොදා ගැනීම, කිමිඳුම්කරුවන් යොදා ගෙන වැලි ගොඩදැමීම ඉන් කිහිපයක් පමණි. තවද ලංකාවේ පවතින නීතිය අනුව වැලි සඳහා නිකුත් කරන බලපත්‍රයක් යොදා ගෙන ගංගාවකින් හෝ ඔයකින් දිනකට වැලි ගොඩ දමා ප්‍රවාහනය කළ හැක්කේ වැලි කියුබ් දෙකක් පමණක් වන අතර වැලි මංකඩකින් මසකට නිකුත් කළ හැක්කේ වැලි කියුබ් සියයක් පමණි. නමුත් දඹුලු ඔයට එවැනි නීතියක් නොමැති බව මෙම ව්‍යසනය දකින පිරිස් කියා සිටිති.

මීටර් දහයක් පමණ පළලින් පැවැති දඹුලු ඔය දැන් මීටර් පනහ පමණ දක්වා පළල් වී ඇත. එමෙන්ම කිමිඳුම්කරුවන් යොදා ගෙන වැලි ගොඩ දැමීම නිසා අඩි පහළොවක් විස්සක් පමණ ගැඹුරැති මාරාන්තික වළවල් සෑදී ඇති බව ප්‍රදේශවාසීහු පවසති. කිරලව පාලම දෙපස වැලි හෑරීම නිසා මේ වන විටත් අවදානම් කලාපයක් නිර්මාණය වී තිබේ. එම ස්ථානයේ වැලි ගොඩ දැමීම සඳහා බලපත්‍ර ලබාදීම පිළිබඳව කිරලව ගම්වාසීහු දැඩි සේ සිය විරෝධය දක්වති.

කිරලව ගම්මානයේ පදිංචි ආර්. ඩී. ස්වර්ණතිලක, වැලි වෙළෙ¼දාම නිසා ගමටත් පරිසරයටත් සිදුවී ඇති හානිය මෙසේ විස්තර කළාය.

දඹුලු ඔයේ වැලි ගොඩ දැමීමෙන් වැඩිම හානියක් වෙලා තියෙන්නේ අපේ ගමට. නන්නාඳුනන පිටගම්කාරයෝ ඇවිල්ලා වටේ පිටේ කීපදෙනෙක් අල්ලාගෙන උදේ රෑ වැලි අදිනවා. ඊට විරුද්ධව කතා කරන අයට ගහනවා. තර්ජනය කරනවා. ගමේ මිනිස්සුන්ට නාන්ඩවත් ඔයට බහින්ඩ බෑ. දැන් ඔය මැද්දේ ළිං වගේ ගැඹුරු වළවල් හෑරිලා.
මහවැලියේ මහත්තුරු ඇවිල්ලා ඔයට බෝට්ටු දාන්ඩ එපා කිව්වත් අහන්නේ නෑ. ඉවුරේ බෝට්ටු පනහක් විතර තියෙනවා. තව සීයක් විතර වතුර යට ගිල්ලවලා තියෙනවා. මේ ප්‍රශ්නේ නිසා හොඳට බැට කාලා ඉන්න අපිට විසඳුමක් නොලැබුණොත් නිහඬව ඉන්නේ නෑ.

මේ වන විට දඹුලු ඔය ආශ්‍රිතව පවතින දැඩි පාරිසරික ප්‍රශ්නයක් වන්නේ ළිංවල ජල මට්ටම පහත වැටීමයි.
කිරලව පදිංචි තමරා කොස්වත්ත ගම්වාසීන් මුහුණු පා ඇති මෙම ගැටලුව විස්තර කළේ මේ අයුරිනි.

වෙනදා අපේ ළිංවල වතුර හිඳෙන්නේ අගෝස්තුවේ. දැන් මාර්තු අප්‍රේල් වෙනකොට ළිංවල වතුර නෑ. එහෙම වෙලා තියෙන්නේ ඔය ගැඹුරු කරලා හින්දයි. ඒ විතරක් නෙවෙයි මිනිස්සු දෙනෝදාහක් යන එන කිරලව පාලම කොයි වෙලේ කඩාගෙන යයිද දන්නේ නෑ. පාලම දෙපැත්තෙන්ම වැලි ඇදලා හාරලා. දවසකට ට්‍රැක්ටර් තිහ හතළිහක් යනවා. ටිපර් යනවා. මනුස්සයකුට ළමයකුටවත් පාරේ යන්ඩ බෑ. අපිට වෙලා තියෙන විපැත්තිය කියන්න කෙනෙක් නෑ...

දඹුලු ඔය අවට ගම්වල ජනතාව ජීවන සටන ජය ගැනීමට පරිසරය නොකෙලෙසා ගොවිතැන් බත් කරද්දී පිටගම්කාරයන් පැමිණ පරිසරය වනසා සල්ලි ගරන බැව් ජනතාවගේ චෝදනාවයි.

චමින්ද කුමාර ඒ ගැන මෙසේ සඳහන් කළේය.

අපේ ගමේ හැමෝම ගොවිතැන් කරන උදවිය. අද වෙනකොට ඔය හැම පැත්තෙන්ම හාරලා. අපේ ඉඩම් ඔය ඉවුරුත් එක්ක කඩාගෙන යනවා. ඔයේ වතුර වැඩි වෙන කාලෙට ගංවතුර ඇති වීම වැළැක්වීමට බැම්මක් බැන්දා. අද ඒවා කැඩිලා. පරිසරයටයි, ගමටයි මහ විනාශයක් වෙලා තියෙන්නේ. පැහැදිලිව කියනවා නම් මේ විනාශය නවත්වන්න කිසිම ආයතනයක් මැදිහත් වෙන්නේ නෑ. මහවැලියට සහ භූ විද්‍යා කාර්යාලයට තමයි වැඩි වගකීමක් තියෙන්නේ. නමුත් අපිට තියෙන කැක්කුම ඒ ගොල්ලන්ට නෑ. කවුරුත් කරන්නේ බොරුව.

දඹුලු ඔයත් අවට ගම්මානත් මුහුණ පා ඇති අනතුරුදායක තත්ත්වයෙන් මුදා ගැනීමට දැන් පවතින එකම පිළියම වන්නේ වැලි ගොඩදැමීමට බලපත්‍ර ලබා දීම සීමා කිරීම බව ජනතාවගේ අදහසයි. උපන්දා සිට කිරලව ගමේ පදිංචි රෝහණ කොස්වත්ත පවසන්නේ මහා පරිසර විනාශයක් කාගෙ කාගේත් ඇස් පනා පිට එළිපිටම සිදු වන බවයි.

දඹුලු ඔය විනාශයේ ඍජු හා වක්‍ර ප්‍රතිඵල බලපා ඇති තවත් පරිසර පද්ධතියක් වන්නේ යෝජිත කලා ඔය ජාතික උද්‍යානයයි. දඹුලු ඔයේ පාරිසරික විනාශයට එරෙහිව නිරන්තරයෙන් සටන් වදින වනජීවී නිලධාරීන් මේ විපත කල්වේලා ඇතිව හඳුනාගෙන ඇති බව ගල්කිරියාගම අඩවි ආරක්ෂක ඩී. රාමසිංහ මහතා පැවැසුවේ සියලු පාර්ශ්වයන්ගේ සහාය නොමැතිව මේ ක්‍රියාදාමය නැවැත්වීම කළ නොහැක්කක් බවද අවධාරණය කරමිනි.

ඔයේ වැලි ගොඩදැමීම නිසා රොන් මඩ ඔක්කොම උද්‍යානයට එකතු වෙනවා. ඇළ ඉවුරු හාරලා. වනජීවී නිලධාරීන් වන අපි පරිසරය වනසනවට කොහොමත් විරුද්ධයි. අපිට කවුරුවත් රකින්න වුවමනාවක් නෑ. අපේ වැටලීම අපි දිගටම කරනවා. නමුත් අපරාධ සම්බන්ධයෙන් වැටලීම් කරන්න අපිට තනිවම බෑ. ජාවාරම්කරුවන්ගේ ඔත්තු ජාලය ශක්තිමත් නිසා පරිසරය රැකගන්න අපිටත් සටනක් කරන්න සිදු වෙලා.

දඹුලු ඔයේ භූමියේ හිමිකරුවා වන්නේ මහවැලි අධිකාරියයි. එමෙන්ම බලපත්‍ර ලබා දීමේදී භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය ප්‍රමුඛව පලාගල ප්‍රාදේශීය ලේකම්, මධ්‍යම පරිසර අධිකාරිය, වනජීවී දෙපාර්තමේන්තුව යන ආයතන රැසකගේ නිර්දේශය අවශ්‍ය වෙයි. එවැනි නීතියක් පවතින විටත් දඹුලු ඔයට සිදු කරන සීමාව ඉක්මවා ගිය හිංසනය හමුවේ මෙම ආයතන නිහඬ බවට ජනතාව දිගින් දිගටම චෝදනා කරති. මේ සම්බන්ධයෙන් පලාගල සහකාර ප්‍රාදේශීය ලේකම් කේ.එස්. බණ්ඩාර මහතාගෙන් අපි විමසීමක් කළේ කිරලව ගම්වාසීන්ගේ දුක සැප සොයා බැලීමේ වැඩි බරක් එම ආයතනය දරන බැවිනි.

දඹුලු ඔය අයිති මහවැලියට. ඒකාබද්ධ පරීක්ෂණයකදී හැර ඔවුන් බලපත්‍ර ලබා දීමේදී අපෙන් නිර්දේශ ලබා ගන්නේ නෑ. කිරලව ගමෙන් අපිට පැමිණිලි ගොඩක් ලැබිලා තියෙනවා. ඒ නිසා අපි දඹුලු ඔයට බලපත්‍ර දෙන්නේ නෑ. ජනතාවගෙන් පැමිණිලි ආවහම අපි ඒ ගැන පොලිස් විශේෂ කාර්ය බළකායට සහ පොලිසියට දැනුම් දෙනවා. ඒ හැර වෙනත් ආයතනයකින් බලපත්‍ර ලබා දෙන එක සීමා කරන්න අපිට බලයක් නෑ.

දඹුලු භූමියේ අයිතිකරුවා හැටියට මහවැලි අධිකාරිය මෙම ගැටලුවට ලබා දෙන්නේ කුමන පිළිතුරක් දැයි දැන් දැන් කවුරුත් බලා සිටිනු නොඅනුමානය. ඒ ‍ෙදාළ සංසිඳුවනු වස් අප බෝවතැන්න නාඋල කාර්යභාර ඉන්ජිනේරුවරයාගෙන් විමසීමට ගත් උත්සාහයේදී හෙතෙම පැවැසුවේ ජනමාධ්‍යයට අදහස් දැක්වීමට තමන්ට බලය ලබා දී නොමැති බවයි.

දඹුලු ඔයට වැලි බලපත්‍ර නිකුත් කිරීමේදී වැඩි වගකීමක් දරන්නේ භූ විද්‍යා කාර්යාංශයයි. එහි ප්‍රාදේශීය කැණීම් ඉන්ජිනේරු වසන්ත විමලරත්න මහතා පැවැසුවේ මේ සියලු චෝදනා පිටුපස කවුරුත් නොදන්නා රහසක්ද පවතින බව එළිදරව් කරමිනි.

පරිසර හානියක් සිදුවී තිබෙන බව අපිත් දන්නවා. ඒ හින්දම 2015 ඉඳලා අපි බලපත්‍ර දෙන එක සීමා කරලා තියෙනවා. මාස පහකින් එක බලපත්‍රයක්වත් දුන්නේ නෑ. එතකොට කාටත් ප්‍රශ්නයක් එනවා කවුද එහෙනම් වැලි අදින්නේ, කොහොමද අදින්නේ කියලා. ඒක ජාවාරමක්. අපි බලපත්‍ර දෙනවා කියලා කෑ ගහන්නේ බලපත්‍ර නොලැබුණු අය. අවසර දුන්නත් නොදුන්නත් දඹුලු ඔයේ වැලි ගොඩදානවා. බලපත්‍ර නිකුත් නොකරන කාලෙට ඔයට බහින්නේ පරිසර හිතකාමීන්. මේ කතාව බොහෝ දෙනෙක් දන්නේ නෑ. බලපත්‍ර නොදීමෙන් රජයට විශාල ආදායමක් අහිමි වෙලා තියෙනවා. නමුත් පරිසරය ඊට ඉදිරියෙන් ඉන්න නිසයි බලපත්‍ර දීම සීමා කරලා තියෙන්නේ. අනෙක දඹුලු ඔයේ නැමි සහිත ස්ථානවල ඉවුරු දැඩි ලෙස ඛාදනය වෙලා තියෙනවා. ඒකට එම කලාපයේ පාංශු ස්තරයේ පිහිටීම බලපා තිබෙන බවත් ගොඩක් අය දන්නේ නෑ...

දඹුලු ඔයද සියල්ල අනිත්‍යය යන නියතියට යටත් බව සැබෑවකි. නමුත් එසේ වූ පළියට ඔයේ අවනඩුව නිෂ්ප්‍රභ කළ නොහැකිය. පරිසර විනාශයක් සිදුවන බව දෑස් පෙනෙන ඇත්තෝ දකිති. කියති. එසේ නම් ස්වභාවික පරිසරය වනසන තෙක් මධ්‍යම පරිසර අධිකාරිය නිදි දැයි කාටත් පැනනඟින ප්‍රශ්නයකි. එහිලා මධ්‍යම පරිසර අධිකාරියේ අනුරාධපුර ප්‍රධාන කාර්යාලයේ නම සඳහන් කිරීමට අකැමැත්ත ප්‍රකාශ කළ ඉහළ පෙළේ නිලධාරියකු කීවේ මෙවැනි කතාවකි.

දඹුලු ඔයේ සිදුවන අක්‍රමිකතාවන් හෝ ජනතාවට සිදු වන හිරිහැර සම්බන්ධයෙන් අපිට කවුරුවත් මෙතෙක් පැමිණිලි කර නෑ. පැමිණිල්ලක් ලැබුණොත් අපි ඒ ගැන අනිවාර්යයෙන් සොයා බලනවා. ඒ වගේම වැලි බලපත්‍ර ලබා දීමේ කොන්දේසි සහිතවයි අපි හැම විටම නිර්දේශ ලබා දෙන්නේ. බලපත්‍ර ලබා දීමේ කාර්යා අපිට අදාළ නෑ.
වැලි මාෆියාවට එරෙහිව පැමිණිලි නොමැති බවට ඒ මහතා එසේ කියද්දී කැකිරාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.එම්.ටී.බී. ගනේගොඩ මහතා මෙසේ කීය.

අපි මේ දැනුත් දඹුලු ඔයේ කේස් දෙකකට ගිහිනුයි ආවේ. බලපත්‍ර නැතිව හොරෙන් ඇද්දත් එකයි බලපත්‍ර අරගෙන කොන්දේසි කැඩුවත් එකයි. කෝකට වුණත් අපෙන් නම් සමාවක් නෑ. පැමිණිලි ආවත් නැතත් අපි වැටලීම් කරනවා. නමුත් අක්‍රමිකතා සිදු වන විට අපි දැනුම් දෙනවා නම් නීතියට යන්න අපිට පහසුයි. අපිට තොරතුරු ලබා දෙන අයගේ රහස්‍යභාවය අපි උපරිමයෙන් රකිනවා. මගේ පෞද්ගලික දුරකතන අංකය ඒ සඳහා ඕනෑම වෙලාවක විවෘතයි.

කවුරු කෙසේ කොහොම කීවද කිරලව ගම්වාසීන්ගේ දුක්ගැනවිල්ලෙන් කියා පාන්නේ පාරුකාරයාගේ උම්බලකඩය කිසිදා නොවියළෙන්නාක් මෙන් දඹුලු ඔයට සිදුවී ඇති මහත් විනාශයටත් තමන්ට සිදුවී ඇති හිරිහැරවලටත් නිමාවක් නොමැති බවයි. දඹුලු ඔයටත් කතා කළ හැකි නම් මේ අවනඩුවේ එළිනොවුණු තවත් බොහෝ දෑ මතුවනු නොඅනුමානය. පරිසරයට වින කිරීමේ ප්‍රතිවිපාක දරුණු ලෙස අත්විඳ ඇති සමයක වගකිවයුතු කවුරු කවුරුත් වහ වහා දඹුලු ඔය දෙස යළි හැරෙනු වටී.

අඹන්පොළ - මුදිතා කෞෂානි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon