උත්තර නොලැබුණු ප්‍රශ්න රැසක් ඉතිරි කළ කුණු කන්දේ ඛේදවාචකයට වසරක් පිරෙයි

  👤  3493 readers have read this article !
By mawbima 2018-04-15

ගත වූ 2017 වසරේ අප්‍රේල් 14 වැනිදා සිංහල හින්දු අලුත් අවුරුද්ද ලැබුවේ මුළු රටම හඬවමිනි. එදා සියලු දෙනාගේ කනට ඇසුණේත් කතාබහ කළේත් මීතොටමුල්ලේ කුණු කන්ද නාය යෑම පිළිබඳවය. වාර්තාවන මරණ සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි විය. කුණු කන්ද යට වැළලුණු දේහයන් සොයන අයුරු දැකගත හැකි විය. සිය ඥාතීන් අහිමි වූවන්ගේ හඬා වැටීම්, විලාප ඇසෙන්නට විය. එදා මීතොටමුල්ල කුණු කන්ද පැවැති දහම්පුර ප්‍රදේශයට පා තබන විට දැනුණු හැඟීම අතිශයින්ම පීඩාකාරී විය. හැ¾ඩීම් වැලපීම් අස්සේ සුළඟට ලෙළෙන සුදු කොඩි යටින් ඇවිද යන විට දැනුණේ වචනයෙන් විස්තර කළ නොහැකි තරමේ පාළු ශෝකී හැඟීමකි.

අඩි 300ක් උස කුණු කන්ද කඩාපාත් වීමෙන් මියගිය සංඛ්‍යාව පනහකට ආසන්න විය. නිවාස 250කට පමණ අලාභ හානි විය. එදා දිනකට කුණු ටොන් දහසක් පමණ මීතොටමුල්ලට එක් කෙරිණි. සෞඛ්‍ය හේතූන් මත ප්‍රදේශවාසීන් මීතොටමුල්ලට කුණු බැහැර නොකරන ලෙස අවස්ථා ගණනාවකදීම ඉල්ලා සිටියත් ඒ ඉල්ලීම්වලට ජනතාවට ප්‍රතිචාර ලෙස ලැබුණේ ගුටි බැටය. 2013 අප්‍රේල් මාසයේදීත් 2014 වසරේදී සිදුකරන ලද උද්ඝෝෂණයේදීත් උද්ඝෝෂකයන්ට පහර දුන්නේය. 2015 වසරේදීත් උද්ඝෝෂකයන්ට ලැබුණු ප්‍රතිචාරවල කිසිදු වෙනසක් නොවිණ. පිරිසකට රිමාන්ඩ් බන්ධනාගර ගතවන්නට සිදුවිය. ජනතාව උසාවි ගාණේ ගියත් කුණු දැමීම නතර කළේ නැත.

කුණු ප්‍රශ්නය විසඳීම වෙනුවට ජනතාව නිහඬ කිරීමෙන් උත්තර සොයන්නට විය. අවසානයේ ඛේදවාචාකය සිදුවී මාස දෙකකට පසුව එනම් ජූනි 23 වැනිදා මීතොටමුල්ලට නැවත කුණු නොදමන ලෙසට උසාවියෙන් තහනම් නියෝගයක් නිකුත් කෙරිණි. මීතොටමුල්ලේ කුණු කන්දට යට වූ මිනිස් ජීවිත නිසා නොවන්නට අදටත් මීතොටමුල්ලට කුණු එකතු වෙනු ඇත. 2012 වසරේ කුණු කන්ද එපා යැයි ආරම්භ කළ ඉල්ලීම් ඉටු වුණේ අදටත් කුණු කන්ද යට වැළලී සිටින මිනී මතින් බව පසක් කරන්නේ වේදනාවෙනි.

මීතොටමුල්ලේ කුණු කන්ද නාය යෑමෙන් විපතට පත්වූවන්ගේ නිවාස හා ඉදිරිකිරීම් සඳහා මේ වනවිට වන්දි ගෙවීම් සිදු කර ඇතත් ඉඩම් සඳහා වන්දි ගෙවීම් සිදුකර නැත. පහුගිය වසරේ සිට මීතොටමුල්ලට බක්මහ ලබන්නේ ප්‍රියයන්ගේ වෙන්වීමේ වේදනාව පසක් කරමිනි. පසුගිය අප්‍රේල් 12 වැනිදා මීතොටමුල්ල දහම්පුරයේදී මිය ගිය ප්‍රියයන් සිහිපත් කොට සැමරුමක් සිදු කෙරිණි.

ජීවිතයේ ඉතිරි කාලය මැරි මැරී ජීවත්වීමට නියමිත මිනිස්සු සිය ගණනක් ඒ මොහොතට එක්ව සිටියහ. ඒ වේදනාව මිනිසකුගේ දරාගැනීමේ සීමාව ඉක්මවනු දුටුවෙමි. කඳුළුවලින් ඒ වේදනාව සේදී යනු ඇතැයි නොසිතුණේ මේ මනුෂ්‍යයන්ගේ දෙනෙත්වල ගැඹුරෙහි සටහන්ව තිබූ වේදනාව දකින විටය. එය ආත්මය විනිවිද ගිය වේදනාවකි. දෙනෙත් අබියස මරාදැමූ සිය ඥාතීන්ට මනුෂ්‍යයන් ලෙස හිමිවිය යුතු මරණයත් අහිමි කළ තිරශ්චීන අත්දැකීමකින් උපන් වේදනාවකි.

මේ මනුෂ්‍යයන් මිය යන්නේ කුණු කන්දක් යට වැළලී යෑමෙනි. බලහත්කාරයෙන් ඔවුන්ගේ ගෙයි මිදුලේ ගොඩ ගැසූ කුණු කන්දක් යට වැළලීමෙනි. මේ මිනිස්සුන්ගේ සමහර ඥාතීහු මේ මොහොතේත් සොයාගත නොහැකිව කුණුකන්ද යට වැළලී සිටිති. සොයාගත් මෘත ශරීර පිළිබඳ අවසන් කටයුතු රජයේ වියදමින් සිදුකළ බව කියැවිණි. මෘතදේහය තැන්පත් කළ මිනී පෙට්ටියේ ලෑලි ගැලවී වැටෙනවිට කළු පටිවලින් එම මිනී පෙට්ටි බැඳ සමූහ මිනීවළක වළදැමූ මතකය, මිනිය තබා ගැනීමට තැනක් නොමැතිව පන්සලේ, පාසලේ, මහමඟ අටවාගත් අට්ටාලවල තැන්පත් කර තබා තිබූ මතකය ඒ මතකයන්හි ගැඹුරේ තැන්පත් වී තිබෙනු දුටුවෙමි.

කීර්තිරත්න අයියාගේ බොරපැහැති ඇස්වල තවමත් නොමැකී ඇති කඳුළුවල කතාව තවමත් ඇසෙමින් තිබේ. ඔහුගේ සුරතල් මිනිබිරිය මිය ගියේ ඔහුගේ දෑත් අල්ලාගෙනය. මහා කොන්ක්‍රීට් ගොඩකට යටවී සිටි ඇයගේ අත පමණක් ඉහළට එසවී තිබිණි. ඇය කොන්ක්‍රීට් අතර සිරවී සිටිමින් කීර්තිරත්න අයියා සමඟ කතා කළාය. අවසන් මොහොත වනතුරු කතා කළාය. ඇයව ගලවා ගැනීමට තරුණයන් දැරූ අනේක උත්සාහයන් වියැකී ගොස් තිබිණි. බැකෝ යන්ත්‍රයකින් ගොඩගන්නා විට ඇයගේ සියුමැලි සිරුර කැබලි වී තිබිණි. ඔහු අවුරුද්දකට පෙර මේ කතාව මා සමඟ හඬමින් කීවේය. ඒ හැඬුම මේ මොහොතේදීත් ඒ පමණම ආවේගයෙන් පිරී ඇත්තේය. මේ මිනිසා මුළු අවුරුද්දම ගත කරන්නට ඇත්තේ හදවතින් හඬා වැටෙමිනි. ඔහුගේ දියණියගේ සිරුර සොයා ගන්නටත් නොහැකි විය. ගෞරවනීය මරණයක් උරුම නොවුණු ඒ අසරණ ගැහැනිය තවමත් මේ කුණු කන්ද යටය.

කීර්ති අයියලා සිය නිවාස තනා ගත්තේ මීතොටමුල්ල සැරසූ මනරම් පොතුවිල කුඹුරු යාය අබියසය. පොතුවිල කුඹුර කුණු කන්දක් වන්නේ මේ මිනිසුන්ගේ ජීවිත අපේක්ෂාවන් තඹයකට මායිම් නොකරමින්ය. වර්ෂ 1989 ගං වතුරෙන් මුළුමනින්ම විනාශ වන පොතුවිල කුඹුරු යායේ කොටසක් ගොඩ කර කොළොන්නාව, කොටිකාවත්ත, මුල්ලේරියාව නගර සභා හා ප්‍රාදේශීය සභා තුනක කසළ බැහැර කිරීම ආරම්භ වන්නේ ඒ අවුරුද්දේමය. අක්කර දෙකක භූමියකින් ඇරඹුණු කසළ අංගණය මහජන විරෝධය නොතකමින්, අධිකරණ නියෝග නොසලකමින් අක්කර විස්සක් පුරා අඩි තුන්සීයක් උසට ගොඩ ගැසුණේය. ග්‍රාමසේවා වසම් අටකට අයත් මිනිස්සු තිස්දහසක් අතපල්ලෙන් වැටුණාක් සේ මේ කසළ කන්ද අවට නිර්මාණය වූ නිරයේ ජීවත් වූහ. ඒ අපාගත ජීවිත නිමා වූයේ මරණයෙනි. අවුරුද්ද එන්නේ මරණයේ වේදනාවත් සමඟය.

මීතොටමුල්ලේ ඛේදවාචකයට අවුරුද්දක් ගොසිනි. මුතුරාජවෙලට කුණු ගෙන යෑම හා පිළියන්දල, කරදියාන ප්‍රදේශයට හා ජා-ඇළ ප්‍රදේශයට කොළඹ කුණු ගෙන ගොස් ගොඩ ගැසීම පිළිබඳව දැඩි කතාබහක් සමාජයේ ඇති වී තිබිණි. මාධ්‍යවලින් අසන්නට හා දකින්නට ලැබිණි. නමුත් දැන් සියල්ල යටපත්ව ගොසිනි. කොළඹ හා අනෙකුත් නගරාශි්‍රතව එක් රැස්වන කුණු පිළිබඳව නිසි පිළියමක් නොකිරීම නිසා ඔහේ තැන් තැන්වල කුණු එකතු වෙන්නේ වගේ වගක් නැතිවය. රට පිළිබඳව තීන්දු තීරණ ගන්නා පාලකයන්ට ජනතා ප්‍රශ්න විසඳීමට වුවමනාවක් නැත. මිනිස් ජීවිත 50ක් එකවරම බිලිගන්නා තුරු මීතොටමුල්ලේ කුණු ප්‍රශ්නය විසඳුවේ නැත්තේ ඒ නිසාය. මුළු රටම ආවරණය වන පරිදි කුණු සඳහා ස්ථිර, නිසි විසඳුමක් ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නැත. එසේ නම් අප ඉදිරි අනාගතයේදී මීතොටමුල්ලේ මෙන් ඛේදවාචක තවතවත් බලාපොරොත්තු විය යුතුව තිබේ. මීතොටමුල්ලෙන් කුණු ඉවත් කර කුණු දාන තැන වෙනස් කළ විට ප්‍රශ්නය විසඳෙනවා නම් රටේ පාලකයන්ගේ හැසිරීම අනුව මේ රට දැන් සුර පුරයක් වී අවසානය.

රසිකා හේමමාලි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon