යුක්තියක් ඉටුනොවී මරණයේ අබිරහස් පොළොවටම මිහිදන් වෙන තිඹිරිපොකුණ ගමේ සැක සංකාව

  👤  3676 readers have read this article !
By mawbima 2018-04-15

තිඹිරිපොකුණ ගම්මානය පිහිටා ඇත්තේ ගිරිබාව පොලිස් බල ප්‍රදේශය තුළය. දැනට වසර දහයක පමණ සිට මෙම ගම්මානයේ අබිරහස් මරණ අටක් පමණ සිදු වී ඇත. බොහෝ දෙනා එම මරණ මිනීමැරුම් බවට සැක කරති. ගම්මානයේ පදිංචි අසරණ ගොවීන් මෙම මරණවලට ගොදුරු වී ඇත.

අබිරහස් ලෙස මියගිය පුද්ගලයන් පිළිබඳ මරණ පරීක්ෂණ පවත්වා මිහිදන් කරනු ලැබීය. මරණය සිදුවීමට කුමක් හෝ හේතුවක් ඉදිරිපත් විය. නමුත් ඉන්පසු එම මරණ පිළිබඳව, කිසිදු යුක්තියක් සාධාරණයක් ඉටු නොවූ බව තිඹිරිපොකුණ ගම්මානයේ පදිංචිකරුවෝ අදටත් පවසති.

ගෙවී ගිය අවුරුදු දහයකට ආසන්න කාලයේ සිට වර්තමානය දක්වා අබිරහස් ලෙස තිඹිරිපොකුණ ගම්මානයේ පදිංචි පුද්ගලයන් අට දෙනකුගේ මරණ අතරින් බිහිසුණු අවාසනාවන්ත මරණය සිදු වූයේ 2016 වර්ෂයේ ජුනි 16 වැනි දින රාත්‍රියේය. ගොළු කාන්තාවක් වූ හැටහත් හැවිරිදි හේරත් මුදියන්සේලාගේ චන්ද්‍රාවතී නමැති කාන්තාව දූෂණය කර මරා දමා තිබිණි.

ඇය ලැබෙන කුලී වැඩක් කරමින් උපයාගත් සොච්චම් මුදලින් කිසිවකුටත් බරක් නොවී තනිවම ජීවත් වූ කාන්තාවකි.

ඇයගේ ඥාති දියණියක වන පද්මා කුමාරි සේනානායක මෙසේ පැවැසුවාය.

චන්ද්‍රාවතී කියන්නේ අපේ ලොකු අම්මා. රාත්‍රි කාලයේ තනියම ගෙදර ඉද්දී දූෂණය කරලා මරලා දාලා තිබුණා. ලොකු අම්මාගේ මූණකට රෙදි කෑල්ලකින් බැඳලා තිබුණා. මිනිය ළඟ ගමේ පුද්ගලයකුගේ හැඳුනුම්පතක් වැටී තිබිලා හමුවුණා. පොලිස් අත්අඩංගුවට පත්වූ එම පුද්ගලයා කීවේ කාලයකට පෙර එයාගේ අයිඩින්ටිය නැති වුණා කියලා. නමුත් අදටත් ලොකු අම්මා මැරුණේ කොහොමද කියලා පොලිසිය හොයාගෙන නැහැ. අදටත් ඒ මරණය අබිරහසක්.

පද්මා කුමාරිගේ පියාද මියගොස් ඇත්තේ අබිරහස් ලෙසය. අදටත් ඒ මරණය පිළිබඳව සැකයක් ඉතුරු වී ඇත. නිවෙස ආසන්නයේ කඩකාමරයේ රාත්‍රිය ගත කළ ඔහුගේ නිසල සිරුර පසු දින උදෑසන ඒ ආසන්නයේ ගලා යන ඇළක වැටී තිබිණි. නළල තුවාල වී තිබිණි. එම මරණය පිළිබඳව මරණ පරීක්ෂණයේදී තීරණය වූයේ වතුරේ වැටී සිදු වූ මරණයක් ලෙසිනි. ඉන් පසු අද වන තුරු මරණයට හේතුව අනාවරණය කරගෙන නොමැත.

විසි හැවිරිදි වයසේ පසු වූ මංජුල ප්‍රියශාන්තගේ මරණයද අබිරහස් මරණයක් බවට අදටත් තිඹිරිපොකුණ ගම්මානයේ ජනතාව සැක පහළ කරති. ඒ පිළිබඳව පොලිසිය විසින් පැවැත්වූ විමර්ශනවලින් කිසිම ප්‍රගතියක් සිදු නොවූ බව ගම්මු අදටත් පවසති.

එම මරණය පිළිබඳව මංජුල ප්‍රියශාන්තගේ සොහොයුරු ඩී.එම්. අමිල මෙසේ පැවැසුවේය.

අයියාගේ හොඳම යාළුවෙක් රට යන නිසා එක දවසක් රාත්‍රියේ යාළුවාගේ ගෙදර පාටියක් තිබුණා. පාටියෙන් හොඳට බීලා රාත්‍රියෙම අයියා බයිසිකලේ නැඟලා ඇවිත් තියෙනවා. ඒත් අයියා ගෙදර ආවේ නැහැ. ඊට පහුවදා උදේ අයියාගේ මිනිය ඇළේ තිබුණා. බයිසිකලය ඇළ ඉවුරේ නතර කරලා තිබෙනවා. වතුර පෙවිලා සිදු වූ මරණයක් බවට මරණ පරීක්ෂණයෙන් තීන්දු වුණා. අදටත් අයියාගේ මරණය අබිරහසක්. රට යනවා කියපු යාළුවා රට ගියේ නැහැ. අයියාගේ හත් දවසේ දානේ දවසේ යාළුවා වහ බීලා මැරුණා.

තිඹිරිපොකුණ ගම්මානයේ පදිංචිව සිටි කළු ආරච්චිලාගේ සරත් කුමාරගේ අබිරහස් මරණය ඝාතනයක් බවට පවුලේ උදවිය මෙන්ම ගමේ බොහෝ දෙනෙක් විශ්වාස කරති.
සරත් කුමාරගේ සොහොයුරියක් වන කේ.ඒ. සෝමාවතී මෙසේ පැවැසුවාය.

2014 අවුරුද්දේ ජුනි මාසේ අට වැනිදා මල්ලී ඔයට නාන්න ගියා. ඒත් ආයේ ගෙදර ආවේ නැහැ. අපි හැම තැනම හෙව්වා. දවස් අටකට පස්සේ මළ කඳ හම්බ වුණා. ඔයේ මිනිය තිබුණ තැන මළ කඳ වැහෙන්නවත් වතුර තිබුණේ නැහැ. හැම කෙනෙක්ම කීවේ ඒ වතුරේ මිනිහෙක් මැරෙන්න විධියක් නැහැ. පොලිසියටත් මරණය ගැන සැක හිතිලා මුලින් පරීක්ෂණ පැවැත්වූවා. ඒත් අද වන තුරු මිනීමරුවෝ හොයා ගන්න බැරි වුණා. මිනිය වැටිලා තිබුණ තැන වතුර පොලිසියෙන් අරන් ගියා. මරලා මිනිය ගෙනැත් දාලද කියලා හොයන්න උත්සාහ කරනවා කියලා පොලිසියේ අය කීවා. ඒත් දැන් අවුරුදු ගාණක් ගෙවිලා ගියත් කිසිම හෝඩුවාවක්වත් ලැබිලා නැහැ.

තිඹිරිපොකුණ ගමේ මරණ අතරට

ආර්. ධර්මරත්න සහ කේ.ඩී. ජයවීර යන ගැමියන් දෙදෙනාගේ අබිරහස් මරණ දෙකද එකතු වී ඇත.

ඒ පිළිබඳව ධර්මරත්න ගොවි මහතාගේ දියණියක් වන ඉෂානි රේණුකා කරුණු පැහැදිලි කළේ මෙලෙසිනි.

දකුණු ඉවුරේ කුලියට ගොයම් කපන්න ගියපු අපේ තාත්තයි ජයවීර මාමයි හවස ගෙදර ආවේ නැහැ. අපි හැම තැනම හෙව්වා. හොඳටම වතුර හුරු පුරුදු ඒ දෙන්නගේ මළ මිනී දෙක පොඩි වතුරක වැටිලා තිබුණා. කිසිම අසනීපයක් නොතිබුණ ඒ දෙන්නා එහෙම වැටිලා මැරෙන්න විදියක් නැහැ. හැම කෙනෙක්ම ඒ ගැන ඒ දවස්වල කතා කළා. අදටත් ඒ මරණ දෙක අබිරහස් මරණ විතරයි. තිඹිරිපොකුණ ගමේ වෙච්ච හුඟාක් මරණ වතුරේ වැටිලා සිදුවුණ මරණ බවට තමයි තීන්දු වුණේ.

තවද ගමේ කුඹුරක් ආසන්න ළිඳක වැටී පුද්ගලයෙක් මියගොස් තිබිණි. ඒ මරණයද අදටත් තොරතුරු නොමැති අබිරහස් මරණයකි.

තිඹිරිපොකුණ ගමේ ජනතාව පවසන අන්දමට පසුගිය කාලයේ සිදු වූ මරණ සියල්ලම කිසියම් හෝ සැකයක් මතුකරන මරණ බව පෙනී යයි. මරණ වැඩි කොටසක් වතුරේ වැටී සිදු වූ මරණ බව අනාවරණය වේ.

මෙතෙක් සිදු වූ මරණ පිළිබඳව අදටත් ගමේ බොහෝ දෙනා කතා කරන්නේ සැකයෙනි. නමුත් ඒ පිළිබඳව වැඩිදුර විස්තර හොයන්නට තරම් කිසිවකු ඉදිරිපත් වන බවක් දක්නට නොමැත.

කාලයක් පුරා සිදු වන අබිරහස් මරණ පිළිබඳව ගම්වාසීහු නොයකුත් සැකසංකා පහළ කරති. තිඹිරිපොකුණ ගම ආසන්නයේ ගලා බසින කලා ඔය අසල මරණ බොහොමයක් සිදු වී තිබිණි. මරණ පරීක්ෂණ බොහොමයකින් අනාවරණය වී ඇත්තේ දියේ ගිලී වතුර පෙවීම නිසා සිදුවුණ මරණයක් ලෙසිනි. ඉන් පසු කිසිම වැදගත් තොරතුරක් අනාවරණය කර ගැනීමට පොලිසිය සමත් වී ඇති බවක් දක්නට නොමැත.

ගම ආසන්නයේ ගලා බසින කලා ඔය ආශ්‍රිතව වසර ගණනාවක් තිස්සේ නීති විරෝධී මත්පැන් ජාවාරමක් සිදුවන බව ප්‍රදේශයේ කවුරුත් දන්නා ප්‍රසිද්ධ රහසකි. නමුත් එම සංවිධානාත්මක මත්පැන් ජාවාරම්කරුවන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වන බවක් නම් දක්නට නොමැත.

වසර ගණනාවක් පුරා අබිරහස් ලෙස සිදුවන මරණ පිටුපස නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සෙවණැලි වැටී ඇති බවට ගමේ ජනතාව සැක පහළ කරති. ඒ සඳහා විශ්වාස කළ හැකි අන්දමේ සාක්ෂි ඉදිරිපත් කරති.

නමුත් ඒ කරුණු පිළිබඳව වගකිවයුතු බලධාරීන්ගේ සුළු හෝ අවධානයක් මෙතෙක් යොමු වී නොමැත. ගම්මුන්ගේ හිත් තුළ කැකෑරෙන සැකය පමණක් දවසින් දවස ඔඩු දුවමින් පවතින අයුරු දක්නට ලැබේ.

ගම තුළ නොයකුත් නීති විරෝධී ජාවාරම් සිදු වෙනවා. ඒ ගැන අදාළ අංශවලට කොයිතරම් ඔත්තු දුන්නත් වැඩක් නැහැ. කාලයක් තිස්සේ අබිරහස් විදියට මරණ සිද්ධ වෙනවා. අදටත් ඒ කිසිම මරණයකට වගකිවයුතු කෙනෙක් අල්ලා ගෙන නැහැ. ආයේ කොයි මොහොතක අබිරහස් විදියට ගමේ කෙනෙක් මැරෙයිද කියලා ගමේ උදවිය පුදුම බියකින් දවස ගත කරන්නේ යැයි තිඹිරිපොකුණ ගමේ ජනතාව කනගාටුවෙන් යුතුව පවසති.

තිඹිරිපොකුණ ගම්මානයේ ජනතාව පවසන විස්තරවලට අනුව අගක් මුලක් සොයා ගැනීමට නොහැකි කලින් කලට සිදුවන මරණ මිනීමැරුම්ය. සැලසුම් සහගත මිනීමැරුම්ය. ඊළඟ බිල්ල තමන් දැයි නොදත් ගැමියෝ මරණ බයෙන් යුතුව ජීවත්වෙති.

අපේ ගමත් කොටකෙතන ගම වාගේ වෙන්න ඉස්සරලා පියවරක් ගන්න කියලයි අපි දන්න කියන හැම කෙනකුගෙන්ම ඉල්ලා සිටින්නේ. ගමේ මිනිසුන්ගේ ඉල්ලීම එයය.

ගල්ගමුව - ජයසේන බණ්ඩාර
මහගල්කඩවල - එච්. එම්. සී.ඉලංගකෝන්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon