අගමැති හතර වැනිදා ජයක් ලැබුවේ නැහැ ඔහු ලැබුවේ ඊළඟ පරාජයේ පෙරවදනයි

  👤  3663 readers have read this article !
By mawbima 2018-04-15

අප්‍රේල් 05 වැනිදාට හිරු පායන විට මේ රටේ සිටින්නේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා නොවන බව ඔබ දැඩි ලෙස අවධාරණය කළා. නමුත් අප්‍රේල් 5 වැනිදාට හිරු පායන විටත් මේ රටේ අග්‍රාමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ මහතාම නොවේද මොකද වුණේ?

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව එක්තරා ආකාරයට භූමිකම්පාවක්. රිච්ටර් මාපක 8.5ට නියමිතව තිබුණු භූමිකම්පාවක්. හැබැයි මේ භූමිකම්පාව සිදු වුණේ රිච්ටර් මාපක 6.5කට. රිච්ටර් මාපක 6.5කට සිදුවුණා කියලා එය භූමිකම්පාවක් නොවේ කියලා කාටවත්ම කියන්න බැහැ. ඕනෑම භූමිකම්පාවක පසුකම්පන කියලා දෙයක් තියෙනවා. දැන් ඒ පසුකම්පන හැම පැත්තකින්ම පටන් අරගෙන. මේ යහපාලන ආණ්ඩුව අද අස්ථාවර වෙලා. හැම තැනම සාකච්ඡා. කොටසක් කැබිනට් වර්ජනයක. ජනතාවගේ ප්‍රශ්න විසඳනවා වෙනුවට හැමතැනම සාකච්ඡා.

නමුත් රනිල් වික්‍රමසිංහ මහතා ඔටුන්න බේරා ගත්තා නේද?

අප්‍රේල් 5 වැනිදාට ඉර පායන කොට අගමැතිතුමා ඔටුන්න බේරාගෙන. නමුත් ඔටුන්න ඔළුවේ ස්ථාවරව නැහැ. තවමත් රනිල් වික්‍රමසිංහ මහතා ඉන්නේ සලිත වූ තත්ත්වයක. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ඔහු ලබාදුන්නු පොරොන්දු ඉටුකරගැනීමට නොහැකි වෙලා ඉන්නවා. වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂය තුළ සිදු කරන පොරොන්දු වුණු දේවල් අද සිදුවෙලා නැහැ. ඒක අප්‍රේල් 30ට කල්දාලා. බලාපොරොත්තු වුණු ප්‍රතිසංස්කරණ සිදුනොකෙරුණොත් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට එක්සත් ජාතික පක්ෂයෙන්ම විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම ගැන දැන් සාකච්ඡා ආරම්භ වෙලා තියෙනවා. අගමැතිතුමා 04 වැනිදා ජයක් ලැබුවේ නැහැ. ඔහු ලැබුවේ ඊළඟ පරාජයේ පෙරවදනයි.

නමුත් ඒකාබද්ධ විපක්ෂය මෙම පරාජයෙන් යම් පසුබැසීමකට ලක්වුණා නේද?

ඒකාබද්ධ විපක්ෂය කිසිම පසුබැසීමකට ලක් වුණේ නැහැ. ආණ්ඩුවේ හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් 16 දෙනකු විපක්ෂයට පැමිණීමේ නැඹුරුතාවක් පෙන්නුම් කරලා තියෙනවා. එම 16 දෙනාට ඉදිරියේදී තවත් 7ක් 8ක් එකතු වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම කණ්ඩායමක් විධියට විපක්ෂයේ අසුන්ගත්තොත් ආණ්ඩුවට තියෙන 2/3 බලය නැති වෙනවා. මෙහෙම දේවල් වෙන්නේ මේ ඇති වෙච්ච භූමිකම්පාවේ පසුකම්පන නිසයි.

ඒක නිසා අගමැතිවරයාගේ අගමැති ඔටුන්න යන්තම් බේරාගන්න පුළුවන් වුණාට ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ දරුණු සුළි කුණාටුවක් ඇතිවීම දක්වා මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරියට ගෙනහිල්ලා තිබෙනවා. දෙමළ ජනතා සන්ධානය පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක භූමිකාව සිදුකරන ගමන්ම අගමැතිවරයා බේරාගැනීමට ඉදිරියට පැමිණීම පිළිබඳව දෙමළ සාමාන්‍ය වැසියන්ද සිටින්නේ දැඩි කලකිරීමකින්. ඒ වගේම දැඩි අපුලකි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර සිදුවීමේ චෝදනාවලට අමතරව මහනුවර දිගන සිදුවීම මෙම විශ්වාසභංග යෝජනාවට ඇතුළත් කළේ ආණ්ඩුව නියෝජනය කරනු ලබන ඇතැම් මුස්ලිම් ජනතා නියෝජිතයන්ගේ විශ්වාසය මෙම විශ්වාසභංග යෝජනාවට පක්ෂව ලබාගැනීමට නේද?

මහනුවර, දිගන එම සිද්ධි ඇති වූ විට ආණ්ඩුවට බරපතළම චෝදනා එල්ල කරන ලද්දේ ආණ්ඩුව නියෝජනය කරනු ලබන ඇතැම් මුස්ලිම් මැති ඇමැතිවරුන් ඇතුළු ජනතා නියෝජිතයන්. ඒක ඉතා පැහැදිලිවම මේ රටේ පොදු මහජනතාව මාධ්‍ය මඟින් දැක්කා. මේ ආණ්ඩුවේ ඉන්න ලැජ්ජයි, අපිට තීරණයක් ගන්න සිදුවෙනවා කියපු ඇතැම් මුස්ලිම් නායකයන් හා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් රෙදි උනාගෙන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂව ඡන්දය ලබාදීම තුළින් මුස්ලිම් ජනතාව මේ දේ තේරුම් අරගෙන ඉන්නවා. ඒක නිසා ඒ රෙදි උනාදමපු අය සම්බන්ධයෙන් ඊළඟ මැතිවරණවලදී රටේ ජනතාවගෙන් ඉතා හොඳ ප්‍රතිචාරයක් ලැබේවි.

54ක කණ්ඩායමකට ආණ්ඩුවෙන් 16 දෙනකු එකතු වෙන ප්‍රවණතාව ඇතිවීමම ජයග්‍රහණයක්. මේ ජාතික ආණ්ඩුවෙන් ඉවත්විය යුතුයි කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තුළ මේ වන විට ප්‍රබල සංවාදයක් ගොඩනැඟිලා. බහුතරයේ කැමැත්ත තියෙන්නේ ඉවත් විය යුතුයි කියන මතයේයි. එහෙම වුණොත් ඒකත් මෙම විශ්වාසභංගයෙන් ලැබුණු ජයග්‍රහණයක්. රිච්ටර් මාපක 8.5ට මෙම භූමිකම්පාව වුණේ නැහැ තමයි. ඒක නිසා ගොඩනැඟිලි දඩාස් ගාලා එකපාරටම කඩා වැටුණේ නැහැ. නමුත් රිච්ටර් මාපක 6.5ට මෙම භූමිකම්පාව සිදුවුණු නිසා ඉරිතළලා, පිපිරීම් වෙලා අනාගතයේ කොයි මොහොතක හෝ ගොඩනැඟිල්ල කඩාගෙන වැටෙන තත්ත්වයට කම්පනය තීව්‍ර වෙලා තියෙනවා.

පසුගිය දිනවල සිට රටේ ඇති වී තිබෙන යම් දේශපාලන ව්‍යාකූලත්වයන් සමඟ විශ්වාසභංග යෝජනාව ජය ගැනීමද හොඳ? නැත්නම් පරාජය වුණු එකද?

දේශපාලනය එහෙම තෝරන්න බැහැ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සමඟ සාකච්ඡා කරලා ඒකාබද්ධ විපක්ෂය මෙවැනි තීරණයක් ගත්තේ විය හැකි සිද්ධි මොනවාද කියලා හොඳින් සාකච්ඡා කරලයි. රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්වුවොත් ඊළඟට සිදුවිය හැකි දේ. ඔහු ජයග්‍රහණය කළොත් විය හැකි දේ. මෙහිදී සිදුවිය හැකි ධනාත්මක දේ මොනවාද? ඍණාත්මක දේ මොනවාද කියලා සලකලා බලලා තමයි අපි කිව්වේ විශ්වාසභංග යෝජනාව දිනුවත් දිනුම්. පැරැදුණත් දිනුම් කියලා.අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජයට පත්වුවත් රටේ ඇති වී තිබෙන දේශපාලන ව්‍යාකූලත්වය පැහැදිලියි. අග්‍රාමාත්‍යවරයා කිරුළ රැකගත්තත් ඉන් පසුව ලැබෙන ප්‍රතිඵල අපට වාසිදායක තත්ත්වයකට පරිවර්තනය වෙලා ඉවරයි. රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත් වුණා නම් ඇතිවීමට නියමිතව තිබුණේ අන්තර්කාලීන පාලනයක්. එය ඊළඟ 2020 ප්‍රධාන මැතිවරණ දක්වා ක්‍රියාත්මක වීමට ඉඩකඩ තිබුණා. බටහිර න්‍යායපත්‍ර කර ගන්නේ නැති අන්තර්කාලීන පාලනයක් රනිල් වික්‍රමසිංහ මහතා පරාජය වුණා නම් ඇති වෙනවා.

එතකොට මෙම විශ්වාසභංග යෝජනාව පරාජයට පත් වීම සඳහා වැරැදුණේ කොතැනද?

මං නැවත කියනවා, පරාජය වීමක් වුණේ නැහැ කියලා. මෙම භූමිකම්පාව රිච්ටර් මාපකයේ 8.5ට නොවුණාට 6.5ට සිදුවෙලා තියෙනවා.
ඔබ කියන ආකාරයට මෙම භූමිකම්පාව රිච්ටර් මාපකයේ 8.5ට සිදු වෙන්නේ නොමැතිව 6.5ට සිදුවුණේ ඇයි?

රිච්ටර් මාපක 8.5ට සිදුවෙන්න තිබුණු මෙම භූමිකම්පාව එසේ සිදු නොවී රිච්ටර් මාපක 6.5ට සිදුවුණේ සිරිසේන ජනාධිපතිවරයාගේ තිබුණු වැනෙනසුලු දියාරු ප්‍රතිපත්ති නිසයි. එක්සත් ජාතික පක්ෂය් 27 දෙනකුගෙන් පමණ කණ්ඩායමක් අප්‍රේල් 3 වැනිදා රාත්‍රි වන විටත් ස්ථාන 3ක සාකච්ඡා කරමින් සිටියා. ඔවුන් සමඟ සම්බන්ධීකරණ කටයුතු සිදුකෙළේ එස්.බී. දිසානායක අමාත්‍යවරයායි. ආණ්ඩුව නියෝජනය කරනු ලබන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් ඇතුළු 41 දෙනාට සිරිසේන ජනාධිපතිවරයා නිසිමඟ පෙන්වීමක් පෙන්නුවේ නැහැ. මේ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එම කණ්ඩායම දෙකට බෙදුණා. විශ්වාසභංග යෝජනාවට පක්ෂව හා ඉන් වැළකී ඉන්නට දෙකට බෙදුණු කොටස් දෙක තීරණය කළා. මෙම මත දෙකට බෙදෙන්න ඉඩදීලා ජනාධිපතිවරයා නිශ්ක්‍රියව බලාගෙන හිටියා. අපේ පැත්තේ බෙදීමක් තියෙනවා. ඒක නිසා අවදානමක් ගන්න එපා. විශ්වාසභංග යෝජනාවට පක්ෂ වෙනවාද නැද්ද? කියලා ඔයගොල්ලන්ම තීරණය කරන්න කියලා එස්.බී. දිසානායක අමාත්‍යවරයා එම එක්සත් ජාතික පක්ෂයේ 27 දෙනාට දැනුම් දුන්නා. මෙහෙම දැනුම් දුන්නට පසුව අප්‍රේල් 4 වැනිදා අලුයම 1.00ට විතර තමයි එක්සත් ජාතික පක්ෂයේ එම 27 දෙනා බලාපොරොත්තු අත්හැරලා විසිර යන්නේ. සිරිසේන ජනාධිපතිවරයා තමන්ගේ කණ්ඩායම එක් තීරණයකට ගෙන නිවැරැදිව මෙහෙයෙව්වා නම් එක්සත් ජාතික පක්ෂයේ මෙම 27 දෙනා විශ්වාසභංග යෝජනාවට අනිවාර්යයෙන්ම පක්ෂව ඡන්දය ප්‍රකාශ කරනවා.

එක්සත් ජාතික පක්ෂයේ 27 දෙනකු ගැන ඔබ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් පිරිස් දැඩිව ප්‍රකාශ කළා. නමුත් අපි දැක්කේ 27 දෙනකු වෙනුවට මාධ්‍ය මඟින් යම් යම් ප්‍රකාශ කරනු ලබන එක්සත් ජාතික පක්ෂයේ දෙතුන් දෙනකු විතරයි. එම නිසා 27 දෙනකු විශ්වාසභංග යෝජනාවට පක්ෂව හිටියයි කියලා ඔබ ගණන් හදන්නේ කොහොමද?

මේ වගේ කාරණයකදී අපිට සහාය දෙන සියලුම දෙනාගේ නම් ගම් හෙළිකරන්නේ නැහැ. ඒක දේශපාලන උපායක්. ඔබ කියන්නේ මට ඒ නම් ලැයිස්තුව ලබාදෙන්න කියලද? ඒ නම් ටික ප්‍රසිද්ධ කරන එකද අපේ යුතුකම.

එක්සත් ජාතික පක්ෂයේ 27 දෙනකු විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බවට කොළ එළියක් පත්තු කර තිබියදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ ආකාරයෙන් බෙදුණේ ඇයි?

ඔබ ඒක අහන්න සිරිසේන ජනාධිපතිවරයාගෙන්. මගෙන් අහලා වැඩක් නැහැ.

මෙම විශ්වාසභංග යෝජනාව පරාජය කිරීම වෙනුවෙන් මොනර කොළවල බලපෑම තිබුණා කියලා ඔබ කිව්වා. ඒ වගේම තානාපති කාර්යාලවල මැදිහත්වීම් තිබුණා කියලා ඔබ ප්‍රකාශ කළා. ඒවාට තිබෙන සාක්ෂි මොනවාද?

මොනර කොළවල බලපෑම් සහ ඇතැම් තානාපති කාර්යාලවල යම් යම් බලපෑම් තිබුණා කියන කාරණා අසත්‍ය කාරණා නෙවෙයි. දයාසිරි ජයසේකර අමාත්‍යවරයාම පුවත්පතකට කියලා තිබුණා ඔහු දන්නා මන්ත්‍රිවරයකුට රුපියල් කෝටියක් ලැබුණා. ඒකෙන් එම මන්ත්‍රිවරයාගේ ණය ටික බේරගත්තා කියලා. තව එවැනි තොරතුරු රැසක් අප සතුව තියෙනවා. විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරපු හැමෝම මුදල් ගත්තා කියලා මම කියන්නේ නැහැ. සමහරු ඡන්දය දීමෙන් වැළැකී සිටීම සඳහා රුපියල් ලක්ෂ 800, රුපියල් ලක්ෂ 1000 වගේ මුදල් ලබාගෙන තියෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර මුදල් මගඩියෙන් යම්කිසි ප්‍රමාණයක් මුදල් මෙම ඇතැම් මන්ත්‍රිවරුන් වෙනුවෙන් වියදම් වුණා. ඔය මොන මොනර කොළ බෙදුවත් ජනාධිපතිවරයා තම කණ්ඩායම එක මතයක තියාගත්තා නම් ඔය ප්‍රතිඵලය මීට වඩා වෙනස්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ ආකාරයේ බෙදීමක් ඇති වන බව ජනාධිපතිවරයා දැන සිටියා නම් ජනාධිපතිවරයාගේ පැත්තෙන් ඔහු ක්‍රියාකළ යුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැකගැනීමද? එසේත් නොමැති නම් මෙම ජාතික ආණ්ඩුව තවදුරටත් රැකගැනීමද?

ඒක ගැන මට නිගමනයක් ලබාදෙන්න අමාරුයි. සිරිසේන ජනාධිපතිවරයා කියවා තේරුම් ගැනීමට තරම් දැනුම් පද්ධතියක් තවම මට ගොඩනැඟිලා නැහැ.

එක්සත් ජාතික පක්ෂයේ තිබුණු සියලුම අර්බුද නැතිවී පක්ෂයේ ජයග්‍රාහී මාවතකට ගෙනයෑම සඳහා මෙම විශ්වාසභංග යෝජනාව වෙස්වළාගත් ආශීර්වාදයක් වී තිබෙන බව එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කරනවා.
මැතිවරණ 30ක් පමණ එක දිගට පරාජයට පත්වුණු රනිල් වික්‍රමසිංහ මහත්තයා පාර්ලිමේන්තුවේ පවැත්වුණු ඡන්ද විමසීමක් රටේ පවත්වපු මැතිවරණයක් සේ සලකලා පොඩි ආතල් එකක් ගනිමින් ඉන්නවා. එක්සත් ජාතික පක්ෂයට මෙහෙම සතුටු වෙන්නවත් වෙන ඡන්ද ප්‍රතිඵලයක් නැහැ. ඉදිරි පළාත් සභා ඡන්ද තියන්නේ පාර්ලිමේන්තුවේ නොවෙයි කියලා එක්සත් ජාතික පක්ෂය මනා සිහිබුද්ධියෙන් කල්පනා කළ යුතුයි. ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020 වසරවලදී පවත්වන්නේ පාර්ලිමේන්තුවේ නොවෙයි. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කොට්ඨාසවලින් 70%කට වඩා ජයග්‍රහණය කළේ අපියි. පළාත් පාලන ආයතන 340කින් මේ වනවිට 212ට ආසන්න ප්‍රමාණයක බලය පිහිටුවලා තියෙන්නේ අපියි. එහෙට මෙහෙට සල්ලි බෙදලා, දන්න සෙල්ලම් ඔක්කොම ටික දාලා පාර්ලිමේන්තුවේ ඡන්දයක් ජයග්‍රහණය කළා කියලා සතුටු වෙනවා නම් ඒකෙන් පේන්නේ එක්සත් ජාතික පක්ෂයේ තිබෙන දුර්වලතාවයි. මෙහෙම සතුටක් ලබන්න එක්සත් ජාතික පක්ෂයට වෙන විධියක් නැති නිසා මේකෙන්වත් පුංචි සතුටක් ලබාගන්න තමයි එක්සත් ජාතික පක්ෂය ඔය වගේ කතා කියන්නේ. ඒක නිසා ඔවුන් කියන ඔය ජයග්‍රහණයෙන් අග්‍රාමාත්‍යවරයාගේ බලය තහවුරු වෙලා නැහැ. තමන් ලබාදුන්නු පොරොන්දු ඉටුකරගැනීමට නොහැකිව අග්‍රාමාත්‍යවරයා දහසකුත් පඹගාලක හිරවෙලා ඉන්නවා. ඉදිරියේදී බලන්න පුළුවන් වෙන්නේ මොනවාද කියලා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළේ නිවැරැදිම වෙලාවේදීද?

ඔව්. පෙබරවාරි 10 පළාත් පාලන මැතිවරණයෙන් අති විශිෂ්ට ජයක් ලැබුවා. ඒ සමඟම ආණ්ඩුවේ දෙදරීමක් ආවා. සිරිසේන ජනාධිපතිවරයාගේ කණ්ඩායම ඇතුළේ කම්පන ඇතිවුණා. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ කණ්ඩායම අතරේත් කම්පන ඇතිවුණා. ඒ කම්පනය ප්‍රකම්පනයක් බවට පත්වන්න සුදුසු නියම වෙලාවේදී තමයි විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළේ. නැත්නම් විශ්වාසභංග යෝජනා ගෙන එන්න කවුරුවත් නැකැත් හදලා තියෙනවාද?

පළාත් පාලන මැතිවරණයෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තනි ආණ්ඩුවක් හදන්න සාකච්ඡා කළා. අග්‍රාමාත්‍ය ධුරයට නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයාගේ නමත් යෝජනා වුණා. නමුත් ඒකාබද්ධ විපක්ෂයෙන් අවංක මැදිහත්වීමක් නොවූ නිසාද එම ආණ්ඩුව හදන වැඩපිළිවෙළ අසාර්ථක වුණේ?

කතාවක් තියෙනවානේ නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටෙකුත් තවත් ටිකක් ඕන කියලා. ඒ වගේ කතාවක් තමයි ඔය කතාව. සිරිසේන ජනාධිපතිවරයාටම ඕනෑම විධියේ සහයෝගයක් අපෙන් ලැබෙන්නේ නැහැ. මේක කඳවුරු දෙකක්. ඒකයි අපි කිව්වේ ඇමතිකම්, තනතුරු භාර නොගෙන කොටස්කරුවන් නොවී ආණ්ඩුව කරගෙනයෑමට එළියේ ඉඳලා සහයෝගය දෙනවයි කියලා.

මේ කඳවුරු දෙක එක් කඳවුරක් වෙන්නේ නැද්ද?

එහෙම වෙන්න නම් ඒ පැත්තෙන් විය යුතු සුවිශේෂී කාර්යයන් රැසක් තියෙනවා. අපි අවංක වුණාට ඒ පැත්තෙන් හැමවිටම කරලා තියෙන්නේ අපව රැවැට්ටීමයි. ඒක නිසයි අපි පළාත් පාලන මැතිවරණයෙන් මතක හිටින පාඩමක් ඉගැන්නුවේ.

2020දී තමයි මේ රටේ ප්‍රධාන මීළඟ මැතිවරණ දෙක පැවැත්වීමට නියමිතව ඇත්තේ. ඊට පෙර විශ්වාසභංග යෝජනාව ගෙනාවේ රටට සිදුවන අහිතකර දේවල් වළක්වා ගන්න කියලා ඔබ ප්‍රකාශ කළා. ඒ අරමුණ ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන්ද?

පුළුවන්. මේ ආණ්ඩුවේ 16ක් විපක්ෂයට බරවෙලා ආණ්ඩුවට 2/3ක බහුතරය අහිමි වීමේ අවදානමක් මතුවෙලා තියෙනවා. 2/3ක බහුතරයක් නොමැති ආණ්ඩුවකට බෙදුම්වාදීන්ට ඕන කරන ‍ෙදාළපිදේනි දෙන්න පුළුවන්ද? ඒවා ඉටුකරගන්න අපහසු දිශාවකට තමයි මේ වනවිට ආණ්ඩුව යමින් පවතින්නේ. ආණ්ඩුවේ ගමන අර්බුදකාරී දිශාවකට මේ ආණ්ඩුව හැරවීම හොඳ නැද්ද? සතුරට අවශ්‍ය මේ ඊනියා ජාතික ආණ්ඩුව තියාගෙන යන්න. රණවිරුවන්ට එරෙහිව අතුරුදන් වූවන් ගැන සොයන පනත සම්මත කරගන්නේ මේ 2/3 බලය තියාගෙන. අතුරුදන්වූවන් ගැන ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත සම්මත කරගන්නේ මේ 2/3ක තියාගෙන. මේ පනත් දෙක ඇති රණවිරුවන්ට එරෙහි විදේශ රටක අධිකරණයකදී නඩු අහන්න. අපේ රණවිරුවන් ඒ රටවලට දෙන්න අපි බැඳිලා ඉන්නවා. මේ තත්ත්වයන්ටත් වඩා භයානක තවත් දේවල් සිදුවීමට නියමිතයි. මේ ඔක්කොම තියෙද්දි ආණ්ඩුවේ 2/3ක බලයවත් ගලවාගන්න බැරි නම් අපි කරන දේශපාලනයෙන් වැඩක් නැහැ. එන එන බෝලෙට බැට් කරන එක නෙවි දේශපාලනය කියන්නේ. නැත්නම් මොනව හරි සමිති සමාගම් ටිකක් හදාගෙන ආණ්ඩුව විවේචනය කර කර ආණ්ඩුව යන ගමන ඔය ආකාරයෙන්ම යන්න දීලා බලාගෙන ඉන්න එකද දේශපාලනය කියන්නේ. සතුරාගේ බලය දුර්වල කිරීමයි අප කළ යුත්තෙ. ඒවායින් පූර්ණ ප්‍රතිඵල නොලැබුණත් යම් යම් ප්‍රතිඵල ලැබෙනවා.

අග්‍රාමාත්‍යවරයාට එරෙහි මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමේදී ඒකාබද්ධ විපක්ෂයේ යම් මතගැටුම් තිබුණාද?

ඒකාබද්ධ විපක්ෂයේ සියලුම දෙනා ඒකමතිකවයි මෙම තීරණය ගත්තේ. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා එක් කොන්දේසියක් දැම්මා. මේ විශ්වාසභංග යෝජනාව භාර දෙනවා නම් ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිහිපදෙනෙක් අස්සන් කළ යුතුයි කියලා. ඒකෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා විසින් යම් පරීක්ෂා කර බැලීමක් කළේ සිරිසේන ජනාධිපතිතුමා ඒකට ඉඩ ලබාදෙයිද කියලා. ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිවුදෙනෙක් මෙම විශ්වාසභංග යෝජනාවට අස්සන් කළා. ඒ හතරදෙනා අස්සන් කළේ සිරිසේන ජනාධිපතිවරයාගේ එකඟත්වයෙන් තමයි ඔවුන් අස්සන් කළේ. නමුත් මුළු කණ්ඩායම එක මතයකට ගන්න සිරිසේන ජනාධිපතිතුමා අපොහොසත් වූ නිසා අස්සන් කළ දෙදෙනකු පස්ස ගහන තත්ත්වයකට පත්වුණා.

පසුගිය කාලය තුළ රටට අහිතකර අණ පනත් වත්මන් ආණ්ඩුව විසින් සම්මත කරගත් බව ඔබ ප්‍රකාශ කළා. මෙම අණ පනත් සම්බන්ධයෙන් ඔබ කණ්ඩායමේ ඉදිරි ක්‍රියාමාර්ග මොනවාද?

රටට අහිතකර මෙම අණ පනත් වහාම අවලංගු කරන බල පෙරළියකට කඩිනමින් අපි යායුතුයි. එම අරගලයයි මේ සිදුකරමින් පවතින්නේ. එපමණක්ද? මේ රටේ ප්‍රශ්න රැසකට රටේ පොදු මහජනතාව මුහුණදීලා තියෙනවා. රටේ මූල්‍ය ආයතන කඩාගෙන වැටිලා. මාස ගණනක් තිස්සේ විශ්වවිද්‍යාල වහලා. හැමතැනම පාතාල කල්ලි වෙඩි තියනවා. මනුෂ්‍ය ඝාතන සිදුකරනවා. උතුරේ හමුදා කඳවුරු ගලව ගලවා ඉඩම් ටික ලබාදීගෙන යනවා. මුලතිව්වල සිංහල ගම්මානවලින් ජනතාව එළවන්න වැඩ සිදුවෙනවා.

රුපියල කඩාගෙන වැටෙනවා. ආර්ථික අර්බුදය උග්‍රවෙලා. අද මේ රට පාලනය කිරීමට පාලන තන්ත්‍රයක් නැහැ. රට පාලනය කරනවයි කියන දෙන්නා කරන්නේ ඒ දෙන්නාගේ දේශපාලන පක්ෂවල අර්බුද විසඳීම වෙනුවෙන් කාලය ගත කිරීමයි. රටේ ජනතාව මුහුණ පා තියෙන අර්බුද ඔවුන්ට වැඩක් නැහැ වගේ. මේ රටට නායකත්වයක් නැහැ. රට මෙහෙම ගියොත් මේ රටේ ජනතාව පාරට බැහැලා පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පවත්වන ලෙසට ආණ්ඩුවට බලකිරීමට ජනතාව මෙහෙයවීමයි අපේ බලාපොරොත්තුව.

ඩබ්ලිව්. කේ. ප්‍රසාද් මංජු

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon