උඩ යන හීනයට ඉඩක් ඉල්ලන දිඹුලාගල නැණවත් පුතා

  👤  3369 readers have read this article !
By mawbima 2018-04-15

ලොවක් මවිත කරමින් විශිෂ්ට තාක්ෂණික පෙළහරක් පෑ අපූරු හෙලිකොප්ටර් යානයක් මැවූ විශිෂ්ට තාක්ෂණික ශිල්පියෙක් ගැන පසුගියදා ඇසුවෙමු. මේ තාක්ෂණඥයා තවම පාසල් සිසුවෙකි. අපට ඔහුව හමුවන්නේ පොළොන්නරුව දිඹුලාගල අෑත කෙළවර දුෂ්කර කැකුළුවෙල ගම්මානයෙනි.

මේ කතා පුවතේ අභිමානවත් නායකයා දිඹුලාගල කැකුළුවෙල අංක 127 ලිපිනයේ පදිංචි හිරන්ත ප්‍රසාත් පාසල් සිසුවාය.

1999 නොවැම්බර් 26 වැනිදා වී. අනුර හේමචන්ද්‍රට සහ ඩී. හංසිලා අයිරාංගනීට දාව පොළොන්නරුව මහ රෝහලේදී පවුලේ තුන්වැනි දරුවා ලෙස උපන් හිරන්ත ප්‍රසාත්ගේ මේ වනවිට වයස අවුරුදු 18කි.

ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයෙන් 'අ' යනු කීමට මුල පිරූ හිරන්ත එහිදී ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම සමත් වූයේය.

අනතුරුව හය වසරේ සිට දහය වසර දක්වා දෙහිඅත්තකණ්ඩිය ජාතික පාසලෙන් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සමත් වන හිරන්ත තාක්ෂණ විෂය හැදෑරීම සඳහා අරලගංවිල විලයාය මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වූයේය. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පාසල් 282කින් තේරී පත් වූ ජාතික පාර්ලිමේන්තුව නියෝජනය කරන සිසුන් හයදෙනා අතරට සහ දිඹුලාගල අධ්‍යාපන කලාපයේ පාසල් 103කින් තේරී පත් වූ ජාතික ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන සිසුන් දෙදෙනා අතරට පාසල්, කලාප, පළාත් හා ජාතික ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන හිරන්ත ප්‍රසාත් විලයාය මධ්‍ය මහා විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙසද ක්‍රියා කරන්නේය.

හැකියාවන් රැසක් ඇති හිරන්ත ප්‍රසාත් මීට පෙරත් රටට නව නිර්මාණ දායාද කළේය. මොහුගේ ප්‍රථම නව උපකරණය වන්නේ තවාන්වලින් පැළ ගලවා සිටුවන උපකරණය ය.
මූල පද්ධතියට කිසිදු හානියක් නොවන අයුරින් ක්ෂේත්‍රයෙන් පැළ ගලවා වෙනත් ස්ථානයක ක්ෂේත්‍රගත කරන මෙම උපකරණයට 2017 වසරේදී උතුරු මැද පළාතේ පැවැති තාක්ෂණ උපකරණ ප්‍රදර්ශනයකදී දෙවැනි ස්ථානය හිමිවූයේය.

ඉන් නොනැවතුණු හිරන්ත ප්‍රසාත් බහුකාර්ය රේක්කයක්ද නිර්මාණය කරමින් තාක්ෂණ ලෝකයේ නවීන අත්දැකීම් රැසක් අත් කරගත්තේය.

අනන්ත බාධක මැදින් තාක්ෂණ ලෝකය ජයගැනීමට වෙර දරන හිරන්ත ලොවට වටිනාම නිර්මාණයක් කිරීමට හීන මැව්වේය. ඒ හීනයේ සැබෑ සෙවණැල්ල වූයේ හිරන්ත ප්‍රසාත්ගේ මවුපියන්, ගුරුවරුන් සහ මිතුරු මිතුරියන්ය.

උසස් පෙළට ඉන්ජිනේරු තාක්ෂණවේදය විෂය හදාරන හිරන්ත ප්‍රසාත් පසුගියදා තම විලයාය මධ්‍ය මහා විද්‍යාලයේ ප්‍රථම වරට පැවැති තාක්ෂණික ප්‍රදර්ශනයට අපූරු නිර්මාණයක් ඉදිරිපත් කළේය.

ඒ සිවුදෙනකුට ගමන් කළ හැකි උසින් අඩි හතක් සහ දිගින් අඩි විසිතුනකින් යුත් අලංකාර හෙලිකොප්ටර් යානයකි.

අප රටේ නවීන තාක්ෂණයේ හෙලිකොප්ටර් යානයකට පෙනුමින් සමාන මෙම හෙලිකොප්ටර් යානය නිපදවීමට හිරන්ත ප්‍රසාත් භාවිත කරගෙන ඇත්තේ ඉවත දමන යකඩ හා අක්‍රිය යාන්ත්‍රික කොටස් හා උපකරණ කිහිපයක් පමණක් වීම විශේෂත්වයකි.

අක්‍රිය වතුර මෝටරයක්, මහන මැෂින්වල කොටස්, ඉවත දමා තිබූ අක්‍රිය පරිගණක යන්ත්‍රයක්, යකඩ බට, ප්ලාස්ටික් බට, තහඩු, රථවාහනවලින් ඉවත් කෙරූ අක්‍රිය කොටස් හිරන්ත විසින්ම අවශ්‍ය පරිදි සකසා ගෙන මෙම විශේෂිත හෙලිකොප්ටර් යානය නිපදවා තිබිණි.

නිසි වේලාවට කෑමක්, බීමක් නොමැතිව නිදිවරමින් පුරා මාස තුනක කාලයකින් නිපදවා අවසන් කරන ලද හෙලිකොප්ටර් යානය කිසිදු තාක්ෂණික දෝෂයක් නොමැතිව පණ ගැන්වෙද්දී හිරන්ත ප්‍රසාත් මෙන්ම ඔහුගේ පියා වන අනුර හේමචන්ද්‍රත් මව හංසිලා අයිරාංගනීත් අප්‍රමාණ සතුටට පත්වූහ.

වී ගොවිතැන මෙන්ම කුඩා ව්‍යාපාරයක් සිදුකරගෙන යන හිරන්තගේ මවුපියන් තමන්ගේ හීනය හීනයක් වීමට ඉඩ නොදී සැබෑ කරගැනීමට ලබාදුන් මූල්‍ය ශක්තියත්, ධෛර්යයත් හිරන්ත සිහිපත් කරන්නේ බොඳව යන දෑසිනි.

"උනන්දුවත්, කැපවීමත්, අධිෂ්ඨානය තියෙනවා නම් තමන්ට ඕනෑම දෙයක් කරන්න පුළුවන්. තමන්ගේ වටිනාකම අඩු තක්සේරුවකින් හිතන්න හොඳ නැහැ. මම දෙහිඅත්තකණ්ඩියේ කුමාරි යකඩ බඩු කඩෙන් කිලෝ ගාණට කෑලි ගෙනැල්ලා තවත් අක්‍රිය යාන්ත්‍රික කොටස් හොයාගෙන ඒවා හදාගෙන හෙලිකොප්ටර් යානයක් හදනවා කියලා හිතා ගත්තේ මාස තුනකට ඉස්සර. ඉතිං ඒ වගේම ඒ හදපු හෙලිකොප්ටර් යානය අපේ විලයාය මධ්‍ය මහා විද්‍යාලයේ පළමු තාක්ෂණික ප්‍රදර්ශනයට ඉදිරිපත් කළා. හැමෝම පුදුම වෙනවා. මම ලොකු වුණාම එක රස්සාවක් කරනවා කියලා හිතාගෙන නැහැ. මට තියෙන හැම දක්ෂතාවකින්ම උපරිම ඉහළට ගිහිල්ලා රටට සමාජයට ලොකු සේවයක් කරනවා."

හිරන්ත ප්‍රසාත් තම අනාගත සැලසුම එලෙසින් වචන බවට පෙරළුවේය.

"මගේ අම්මා තාත්තා මට ලොකු ශක්තියක් වුණා. ඒ වගේම විශේෂයෙන් විලයාය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති රත්නසිරි සර්, නියෝජ්‍ය විදුහල්පතිතුමා, විදුහල්පතිතුමිය, තාක්ෂණ අංශ භාර අමිල ක්‍රිෂාන්ත සර්, දයා කල්‍යාණි ටීචර්, නාරද හාමුදුරුවෝ, ප්‍රදීප්, උපාලි, අතපත්තු, දමිත් සහ ගුරුවරුන්, ප්‍රියන්ත කුමාර, පසිඳු දිල්ශාන්, ශානුක, කේ. ටී. ළහිරු, ඉනෝකා අක්කා යන මිතුරු - මිතුරියන්, කැකුළුවෙල ගමේ අයත් මට ලොකු හයියක් වුණා මේ හෙලිකොප්ටර් යානය මේ තත්ත්වයට පණ ගැන්වීමට." හිරන්ත ප්‍රසාත් තම ගමනට ආශිර්වාද ලබාදුන් සම්පත්දායකයන්ට එලෙස ප්‍රසාදය එක් කළේය.

"මගේ අවසන් ඉලක්කය මේ සැරේ උසස් පෙළ කරලා අවසන් වූ පසු මේ හෙලිකොප්ටර් යානය කැකුළුවෙල ගම්මානයේදීම ගුවන් ගත කිරීම. ඒ වගේම තාක්ෂණික දෝෂ මඟහරවා ගෙන සැහැල්ලු ගුවන් යානයක් හදන්නත් මම හිතාගෙන ඉන්නවා. අවසානයේදී ලංකාවේ ප්‍රථම වරට ආකෘති 50කින් යුත් ප්‍රදර්ශනයක් කරන්නත් තමා ඉලක්කය. ඉතින් මට ඒ සඳහා තාක්ෂණික උපදෙස් ඕනේ. විශේෂයෙන්ම මේ හදපු හෙලිකොප්ටර් යානය ගුවන් ගත කිරීමට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය ඕනේ. මට පේටන්ට් බලපත්‍රයක් අවශ්‍යයි. ඉතින් මගේ දැනුමෙන් මට ඉදිරියට යන්න උදවු කළ හැකි අනුග්‍රාහකයෙක් ඉන්නවා නම් මට උදවු කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා."
දිඹුලාගල අවුරුදු දහ අටේ හිරන්ත පාසල් සිසුවාගෙන් ඉගෙනගත හැකි පාඩම් නම් බොහෝය.

හිරන්ත ප්‍රසාත් සිසුවාට සහතිකයක්, සම්මානයක් ලබාදෙනවාට වඩා ඔහු අතින් නිම වූ හෙලිකොප්ටර් යානය ගුවන්ගත කිරීමට ඇවැසි තාක්ෂණික සහාය ලබාදීමට රජයේ බලධාරීන් මැදිහත් වන්නේ නම් ඒ ඔහුට ලබාදෙන වටිනාම ත්‍යාගය වනු ඇත. මේ විකසිත වුණු ඥාන සම්පත ජාතිය වෙනුවෙන් ආරක්ෂා කිරීමේ වගකීම රටක් ලෙස අප කා සතුවත් තිබේ.

මනම්පිටිය - නිමල් ජයරත්න

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon