නන්නාඳුනන සටන් සගයකුට ජීවිතය ඉල්ලා කිරිවෙහෙරට පයින්ම යන ආබාධිත රණවිරුවා

  👤  3535 readers have read this article !
By mawbima 2018-04-15

රණවිරු කුමාර නැවතත් සටන් බිමට අවතීර්ණ වී සිටී. එහෙත් ඔහු අත ඇත්තේ මීට පෙර වූ ගිනි අවිය නොවේ. යුද්ධය නිසාම ඔත්පළ වූ වම් කකුල වත්තම් කර ගැනීමට ඇති එකම පිළිසරණ වන කිහිලිකරුවත් සමඟ ඔහු මඟට බැස ඇත.

මේ ගමනෙහි වෙනස්කම් තිබුණද එදත් අදත් මෙම ගමනට ඇත්තේ එකම අරමුණකි. එනම් ස්වාර්ථය නොව පරාර්ථය පිණිස වූ කැපවීමකි. කුමාරගේ ගමනට දැනට දින පහකි. මට ඔහු හමුවන බැලුම්මහර මුදුන්ගොඩ කිට්ටුවට එන විට ඔහුගේ සිරුර දහදියෙන් තෙත්ව ඇත. මීට කලකට පෙර නාවික හමුදා විශේෂ යාත්‍රා බළගණයේ සෙබළකු ලෙස මරණය අබියස කළ අරගලයෙන් අනතුරුව අද ඔහු නීතියෙන් එපිට ඇති සැබෑ යුක්තිය සොයාගෙන යන පීඩාකාරී ගමන ආරම්භ කර තිබේ.

"මං ගමන පටන් ගත්තේ අප්‍රේල් පළමුවැනිදා අනුරාධපුර රුවන්වැලි සෑය ගාවින්. මං කොහොම හරි තනියම මේ ගමන පයින්ම කිරිවෙහෙර වහන්සේ ගාවට යනවා."

මේ කලකට ඉහත නාවික හමුදා විශේෂ යාත්‍රා බළගණයෙහි සේවය කළ ප්‍රධාන නිලධාරි එම්.බී.ඩබ්ලිව්. කුමාරගේ මුවින් පිටවන වදන්ය. මේ තවත් එක් පා ගමනක් හෝ වන්දනා ගමනක් හෝ නොව වසර ගණනාවකට පෙර නිවැරැදිවම කිවහොත් වර්ෂ 2000 යාපනයේ මිරිසවිල් ප්‍රදේශයේ සිදුවූ බව කියන පුද්ගල අතුරුදන් කිරීමක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව නඩු විභාගයකින් පසුව එල්ලුම්ගහට නියමව සිටිනා හිටපු හමුදා නිලධාරි සුනිල් රත්නායකගේ ජීවිතය වෙනුවෙන් ජනාධිපති සමාවක් ඉල්ලා යන ගමනකි.

වැදගත්ම දෙය වන්නේ මරණ දඬුවමට නියම වූ සුනිල් රත්නායක, ආබාධිත සෙබළ කුමාරගේ ඥාතියකු හිතවතකු හෝ අඩුම තරමින් එක් දිනක් හෝ හමුවී කතා බස් කර නැති අයකු වීමයි. කුමාරගේ අරගලය අරඹන්නේම නන්නාඳුනන සහෘදයකු වෙනුවෙනි. අනෙක් අතට ඒ අරගලය පෙළ ගැසෙන්නේ හුදෙකලා සටන්කරුවකු ලෙසිනි. ඔහු පිටුපස දේශපාලන පක්‍ෂ, සිවිල් සංවිධාන හෝ බලවතුන් කිසිවකු නොමැත. ඇත්තේ හිතවතුන් සහ මහමඟෙහි හමුවන අහඹු සහෘදයන් පමණි.

මං ඉස්කෝලන් අයින් වෙනකොට මේ රට ගිනිගන්න කාලයක්. මං හිතුව මගෙන් රටට මොනම හරි වෙන්ඩ ඕන කියලා. ඉතින් මං බැඳුණ නාවික හමුදාවට. මං ඒකේ වැඩ කෙරුවේ විශේෂ යාත්‍රා බළගණයේ. මට ඒ කාලේ කොමාන්ඩෝ, එස්.එෆ්. දෙකේම පුහුණුව තිබුණා.

කුමාරගේ හමුදා සේවය නිමවන්නේ ඔහුගේ පාදයට වැදුණු වෙඩි පහරක් සමඟ වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගැනීමෙනි. අද වන විට විවාහක කුමාර දෙදරු පියෙකි. හමුදා සේවයෙන් ඉවත්ව කල් ගත කරන අතර ඔහු දිනක් පුවත්පත් වාර්තාවක් මඟින් දකින්නේ 2000 වසරේ යාපනයේ මිරිසවිල් ප්‍රදේශයේ සිදුවූ සිදුවීමක් සම්බන්ධයෙන් හමුදා නිලධාරී සුනිල් රත්නායක එල්ලා මරා දැමීමට තීරණය වී ඇති බවයි.

"ඔය සිද්ධිය වුණේ යුද්දේ හොඳටම යන කාලේ. ඒ කාලේ කොටි කවුද සිවිල් වැසියෝ කවුද කියලා හොයාගන්න බෑ. එල්.ටී.ටී.ඊ. එක කියන්නේ නිල හමුදාවක් නෙවෙයි. වෙලාවකට යුනිෆෝම්. වෙලාවකට සිවිල්. තමන්ගේ වැඩේට ඕන විදියට එක එක වේලාවට එක එක මුහුණුවරින් හිටියා. වෙලාවකට බඩ දරු අම්මලා වගේ තවත් වෙලාවකට කෑම හොයන්න යන ගමන්. වෙලාවකට පිස්සෙක් විදියට.

කෙසේ හෝ මිරිසවිල් සිද්ධියේ යම් ඝාතනයක් සිදු වූ බව අධිකරණයෙන් තහවුරු වී ඇති අතර එම නඩුවෙන් කියැවෙන පරිදි ඔවුන් "අහිංසක සිවිල් වැසියන්". මේ අධිකරණ ක්‍රියාවලිය ප්‍රශ්න කිරීමට හෝ අභියෝගයට ලක් කිරීමට කුමාර ඉදිරිපත් නොවෙයි. පුවත්පත් වාර්තාව සමඟ ආබාධිත රණවිරු කුමාර මේ අරගලය අරඹයි. එහෙත් ඒ වෙනුවෙන් අධිකරණය ඉදිරියේ උපවාස කිරීමට හෝ ඊට අපහාස කිරීමට තරම් පිරිහුණු විනයක් කුමාර ට නොමැත. නාවික හමුදා සේවය විසින් ගොඩනඟන ලද අභියෝග ඉදිරියේ නොසැලෙන අධිෂ්ඨානයත් විනයත් පෙරදැරිව ඔහු තම අරගලය අරඹයි.

සුනිල් රත්නායකට පෝරකය නියම වූ පසු ආබාධිත සෙබළ කුමාර ඒ වෙනුවෙන් මුලින්ම කරන්නේ අධිකරණය විසින් තීන්දුව ලබා දීමෙන් පසු ඒ වෙනුවෙන් ජනාධිපති සමාවක් ලබා ගැනීමට උත්සාහ දැරීමයි.

ඒ මිනිස්සු කැප කිරීම් කෙරුවේ රට වෙනුවෙන්. අනිත් එක ඔය සිද්ධිය වෙලා තියෙන්නේ අධි ආරක්‍ෂිත කලාපයක. සිවිල් මිනිස්සු කවුද කියලා කොහොමද එහෙම තැනකදී හොයන්නේ. රත්නායකලා විතරක් නෙවෙයි දිගුදුර විහිදුම් බළකායේ අනික් හැම යුනිට් එකකම සෙබළු ගොඩ දෙනෙක් දංගෙඩිය ඉස්සරහ ඉන්නේ බැංකු කඩන්න හොරකම් කරන්න ගිහින් නෙවෙයි.

තමන් කිසිදු දිනක දැක නැති කතා කර නැති සුනිල් රත්නායක වෙනුවෙන් කුමාර 2015 අගෝස්තු මස අනුරාධපුර සිට කොළඹට තනිව පා ගමනක යෙදෙයි. ආබාධිත පය කිහිලිකරුවට වාරු කර ගනිමින් අඩුම කුඩුම මල්ලක දාගෙන ඔහු දින ගණනාවක් කොළඹට පයින් ආවද ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාවක් නොලැබෙයි.

ඉන් පසු ඔහු නැවත තම සටන අරඹන්නේ පසුගිය වසරේ සමාධි ප්‍රතිමා වහන්සේ ඉදිරියේ දින හයක උපවාසයක් පැවැත්වීමෙනි. එහෙත් බලධාරීන්ගේ හඬ ඒ මොහොතේත් අවදි නොවේ.

බලධාරීන්ගේ විවර නොවන නෙත් ඉදිරියේ ලියූ ලිපි කුණු බක්කිවලට විසි වෙද්දී නැවත වරක් 2018 පෙබරවාරි මස පළමුවැනි දින අනුරාධපුර ඔරලෝසු කණුව අබියස තම අරගලයේ ඉදිරි පියවරක් තබයි. එයත් අසාර්ථක ය.

කුමාරගේ තෙවැනි උත්සාහය වන උපවාසය තුන් වැනිදා රාත්‍රියේ අවසන් වන්නේ බලධාරීන්ගේ මුනිවත හමුවේ නැවත සටන සඳහා සූදානම් වීමක් ලෙස මිස පරාජය භාර ගැනීමක් ලෙස නොවේ.

මේ රටේ ගොඩක් දෙනකුට නොයෙක් වැරදිවලට ජනාධිපති සමාව ලැබිලා තියෙනවා. ජනාධිපතිතුමා තමන්ව ඝාතනය කරන්න ආපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට පවා සමාව දුන්නා. ඉතින් මට තවමත් ලොකු විශ්වාසයක් තියෙනවා එතුමා මේ ඉල්ලීම ඉටු කරයි කියලා.

රටම අලුත් අවුරුද්දට පෙළ ගැසෙන විට අප්‍රේල් මස උදාවන්නේ කුමාරගේ පවුලට සතුටුදායක පණිවුඩයක් ද සමඟය. ඒ සාමාර්ථ හයක් සමඟින් ලොකු පුතා සාමාන්‍ය පෙළ ඉහළින්ම සමත්ව ඇත. අනෙක් පියවරු සාද පවත්වද්දී කුමාර නම් වූ පියා නැවත තම සටන් චාරිකාව අරඹයි.

"මම මගේ උත්සාහය කිහිප වාරයක්ම අසාර්ථක වුණා කියලා දන්නවා. ඒත් තවම මගේ විශ්වාසය නැති වෙලා නැහැ. මගේ නෝනලට වුණත් දුකයි මම මෙහෙම දුක් විඳිනව දකිද්දී. එයාලා කියන්නේ මොනව කළත් කමක් නෑ ජීවිතයට හානියක් කර ගන්න එපා කියලා. එයාලට ඉන්න එකම පිහිට මම විතරයි. හැබැයි රට වෙනුවෙන් මේ දේ කරන්නත් ඉන්නේ අපි විතරයි නේද? කුමාර අහිංසක ලෙස සිනහවක් සමඟින් මගෙන් විමසයි.

මා හට අහඹු ලෙස ඉඹුල්ගොඩදී කුමාර මහ මඟ හමුවන විට ඔහුගේ ගමනට දින පහකි. මීට මොහොතකට පෙර බැලුම්මහරදී ඔහුට ලැබුණු දුරකතන ඇමැතුමෙන් කියැවුණේ අතිගරු ජනාධිපතිතුමා හමුවීමට ඔහුට අවස්ථාවක් ලබා දිය නොහැකි බවයි. සෑම මොහොතක් පාසාම වේදනාවෙන් බරිත වන ආබාධිත පය හා යටි පතුලේ නැඟී දිය බිබිළි වේදනා දෙන විට ගමන් පහසුව නොතකාම අඩක් පුරා වාගත් කුසින් නැඟෙන දාහය යටපත් කර ගනිමින් තව බොහෝ දුරක් යා යුතුය. ඒ තුළ වේදනාව තවත් වැඩිවනු ඇත. නමුත් අරමුණ ඒ සියල්ලටම ඉහළින් සිටී. ඔහු ගමන අරඹන අද ආහාරයට ගන්නා දේ හෝ නවතින ස්ථානය පිළිබඳ සැලසුමක් නොමැත. සියල්ල තීරණය වන්නේ මඟදී හමුවන හඳුනන නාදුනන සහෘදයන් අතය. මට ඔහු හමුවන මොහොතේ ඔහු සමඟ සිටි ඉඹුල්ගොඩ ඉස්කෝලේ හන්දියේ මහින්ද අයියා සහ අක්කා ද එබන්දන්ය.

තමන් විශ්වාස කරන යුක්තිය උදෙසා නාඳුනන මිනිසකු වෙනුවෙන් කුමාර නැඟී සිට ඇත. යුද භූමියකදී ගනු ලබන තීරණ ඒ මොහොතට සාපේක්‍ෂය. ජීවිතයේ හා මරණයේ වෙනස කෙස් රොදක් තරම්ය. ප්‍රායෝගික නොවන රටක කුමාරලාගේ කාර්යභාරය යුද්ධය නිම වීමෙන් පසුවත් නිමා වී නැත.

ජාතිය වෙනුවෙන් ඉටුවිය යුතු යුතුකම් තවමත් අප අපේ උරමතට ගෙන නැත.

වගීෂ කරුණානායක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon