මිනිස්සුන්ට අලුත් එජාපයක් ඕනෑ රනිල් ඒක දෙන්න සූදානම් නෑ එජාප හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක

  👤  3641 readers have read this article !
By mawbima 2018-04-15

මගේ අදහස ලංකාවේ ප්‍රබලම ජාතික දේශපාලන පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂය මේ මොහොත වනවිට එහි ඉතිහාසයේ බරපතළම අර්බුදයට මුහුණදී සිටින බවයි. එය බාහිරින් පැමිණි අර්බුදයක් නොවෙයි. පක්ෂය අභ්‍යන්තරයේම දීර්ඝ කාලයක් වර්ධනය වී ඔඩුදුවනු ලැබූ ප්‍රශ්නයක්. පක්ෂ නායකත්වය මේ ප්‍රශ්නය තවමත් ඊට අදාළ නිසි බරින් වටහා නොගැනීම තමයි එජාපය මුහුණ දෙන ප්‍රධානම ඛේදවාචකය. අපට දකින්නට තියෙන්නේ නොයකුත් නූල් සූත්තර මඟින් බලයේ රැඳී සිටීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා දරන වෑයමයි.

එක්සත් ජාතික පක්ෂය ආරම්භ කළේ 1946 සැප්තැම්බර් මාසෙ 6 වැනිදා. එදා පක්ෂයේ නායකත්වය දැරුවේ මහාමාන්‍ය ඩී. ඇස්. සේනානායක මැතිතුමා. එතුමා තමයි පක්ෂයේ සභාපති හැටියට කටයුතු කළේ. නමුත් එදා පක්ෂ නායකයා කියලා වෙනම තනතුරක් තිබුණේ නැහැ. පක්ෂයේ සභාපතිවරයා සහ සමලේකම්වරුන් වශයෙන් දෙදෙනෙක් හිටියා.

ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා පක්ෂයේ නායකයා හැටියට පත්වුණාට පස්සෙ තමයි, නායක, මහලේකම්, සභාපති කියන තනතුරු වෙන වෙනම ඇති කළේ. එයට හේතුවක් තිබුණා. ඩඩ්ලි සේනානායක මැතිතුමාගේ ඇවෑමෙන් එතුමා නායකත්වයට පත්වූ විට තීරණය කළා පක්ෂ නායකත්වය පූර්ණකාලීනව දේශපාලනයේ නියැළෙන්නන් විය යුතු බව. මට මතක හැටියට 1973-74 පක්ෂ ව්‍යවස්ථාවට ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා සංශෝධනයක් ගෙනාවා පක්ෂ නායක, සභාපති, වශයෙන්. ප්‍රේමදාස, විජේතුංග, ජනාධිපතිවරුන්ගෙන් පස්සේ 1994 තමයි රනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුරට පත්වුණේ. මුලින් ජේ.ආර්. ජනාධිපතිතුමාගේ ව්‍යවස්ථාවට පුංචි සංශෝධන කළත් ඉන්පසු බරපතළ වෙනස්කම් ඇති කළේ නැහැ.

ජේ. ආර්. ජනාධිපතිතුමාගේ ව්‍යවස්ථාවෙ තිබුණු විශේෂත්වය තමයි වර්ෂයෙන් වර්ෂයට පක්ෂයේ නිලධාරීන් තෝරා පත්කරන්න ඕන. නායකයා ඇතුළු නිලයන් සියල්ල පක්ෂ සම්මේලනයේදී පත්කර ගන්න අවශ්‍යයි. එය වඩා ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරක් ගත්තා. සාමාජිකයන්ගේ අයිතිය පිළිබඳ ඔවුන්ට උද්දාමයක් ඇතිවුණා.

සෑම වසරකම දෙසැම්බර් මාසය පක්ෂ සමුළුව පැවැත්වූ විට පක්ෂ නායක, සභාපති, ලේකම් හා අනෙකුත් තනතුරු සම්බන්ධයෙන් පක්ෂ නායක සමුළුවට ඉදිරිපත් කරනවා ලියැවිල්ලක්. එයට පක්ෂයේ අනුමැතිය ගැනීමයි සිදුවන්නේ. ඒකට අභියෝගයක් ආවේ නැහැ. නායකයාගේ සිට සියලුම නිලධාරීන්ගේ තනතුරුවල වලංගු කාලසීමාව අවුරුද්දයි. ලිත් වර්ෂයයි. රනිල් වික්‍රමසිංහ මහතා මේ සඳහා ප්‍රතිපාදන සැපයූ වගන්තිය වෙනස් කළා. නායකයා තෝරා ගැනීමට පක්ෂ සමුළුවට තිබූ අවස්ථාව එතුමා ඉවත් කළා. ඒ වෙනුවට ඔහු ඇතුළු කළේ පක්ෂ නායකයා මොන විදියකටවත් හොලවන්න බැරි වගන්තියක්. පක්ෂ නායකයා මිය යනතුරු, ඉල්ලා අස්වන තුරු හෝ අකර්මණ්‍ය වනතුරු රැඳී සිටිය හැකි වගන්තියක් දාගත්තා. ඔහු කිව්වෙ පක්ෂ නායකයා හැටියට පත්වූ පසු ඉවත්වන තුරුම ඔහුට නායකයා හැටියට ව්‍යවස්ථානුකූලව සිටිය හැකි බව.

1994න් පස්සේ තමයි මේ සංශෝධනය ගෙනාවේ. පසුකාලීනව වික්‍රමසිංහ මහතාගේ යාවජීව අයිතියට අභියෝග එල්ල වුණා. මුල්ම අභියෝගය ආවේ 1997 උප නායක ගාමිණී අතුකෝරල මහතාගෙන්. ඒක තමයි රනිල්ට එරෙහි පළමු කැරැල්ල. නමුත් ඒක දුර දිග ගියේ නැහැ. 2004 එජාප ආණ්ඩුව බිඳ වැටීමෙන් පස්සෙ නැවත වතාවක් අභියෝග එල්ල වුණා. 2005 ජනාධිපතිවරණය නිසා ඒ අභියෝගය බාල වුණත් ජනාධිපතිවරණයෙන් පසුව නැවත වික්‍රමසිංහ මහතාගේ නායකත්වයට විරුද්ධව ගැටුම උත්සන්න වුණා. වර්ෂයෙන් වර්ෂය නායකයා තෝරා පත් කරගත යුතුය කියන ප්‍රතිපාදන ව්‍යවස්ථාවට ඇතුළු කරන්න කියන යෝජනා ඉදිරිපත් වුණා. මෙහෙම යද්දී 2010 එජාපය නව ව්‍යවස්ථාවක් සම්මත කළා. ඉන් නව වගන්තියක් ව්‍යවස්ථාවට එකතු වුණා. පක්ෂ නායකයා පත් කර ගැනීම සම්බන්ධයෙන් 8/1 වගන්තිය. එමඟින් පක්ෂ නායක තෝරා පත්කර ගැනීම පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට සහ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමට පැවරුණා. රනිල් ඊට එකඟ වුණා. ඒ කාලෙ සජිත් - රනිල් ගැටුම තිබෙනවා. ඒ නිසාම පක්ෂ අර්බුදයක් ඇති නොවන ආකාරයට 2010දී ව්‍යස්ථාව සම්මත කොට පක්ෂ නායකයාගේ කැමැත්ත අනුව අනෙකුත් නිලයන් පනවන්න එකඟ වුණා.

ඒක ඡන්දෙන් නොවෙයි කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් තේරුවා. මේ අතර 2012දී නායකයා තේරීම ඡන්දයෙන් කරන්න සිදුවුණා. රනිල් එදා ඒකට එකඟ වුණා. රනිල් - කරු ජයසූරිය අතර ඡන්දයෙන් රනිල් දිනුවා. ඡන්ද විමසීම කළේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ හා පාර්ලිමේන්තු කණ්ඩායමේ ඡන්දයෙන්. නියෝජ්‍ය නායක තේරීමේදී සජිත් - රවි අතර ඡන්දයෙන් සජිත් දිනුවා. උපනායකකමට ජෝෂප් මයිකල් මහතා නිතරගයෙන් පත්වුණා. ජාතික සංවිධායක තනතුර දයා ගමගේ සහ දයාසිරි තරග කොට දයා ගමගේ දිනුවා. මේ ඡන්ද විමසීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා මුලින් දැරූ ස්ථාවරය වෙනස් කළා. පත්වන නායකයා පත්වීමෙන් පසු වසර 6ක කාලයක් තවත් ආකාරයකට කියනවා නම් ජාතික මැතිවරණ දෙකක් අතර කාලය ධුරයේ සිටිය හැකි බවට ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනාවා. රනිල් මේක ගෙනාවේ 2015 ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අදහස ඇතිව. මේ සමඟ එතෙක් පැවැති ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට බැරියර් එකක් වැටුණා. දැනට ක්‍රියාත්මක වෙන්නේ ඒ බැරියර් ව්‍යවස්ථාවයි.

දැන් මේ 8 වැනි වගන්තියේ අනු ඡේදයක තියෙනවා එජාප සාමාජිකයෙක් ජනාධිපතිවරයා වුවහොත් ඔහු ස්වයංක්‍රියවම පක්ෂ නායකයා වන බවට සඳහනක්. නමුත් මා දන්නේ නැහැ පක්ෂ සාමාජිකයෙක් අගමැතිවරයා වෙන අවස්ථාවක අනිවාර්යයෙන් පක්ෂ නායකයා වන බවට ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන තිබුණාද කියා. මොකද මා පක්ෂ ලේකම්ව සිටියදී නම් එවැනි වගන්තියක් තිබුණේ නැහැ. එහෙම සංශෝධනයක් ගෙනාව කියලා. පසුකාලීනව කියල මට දැනගන්න ලැබිලත් නැහැ. මම කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයන් දෙතුන් දෙනකුගෙන් විස්තර ඇහුවා. ඔවුන් කියන්නේ එවැනි වගන්තියක් සම්මත කර නැති බවයි. ජනපති හෝ අගමැති වුණා කියල නායකකමේ බලහත්කාරයෙන් රැඳී සිටිය යුතු නැහැ. අත්හරින්න පුළුවන්. බාධාවක් නැහැ. පක්ෂයේ ජනාධිපති පක්ෂ නායකයා ද වන්නේය කියලයි පක්ෂ ව්‍යවස්ථාවේ තියෙන්නේ.

අගමැතිවරයා වුණු පළියට අනිවාර්යයෙන්ම පක්ෂ නායක වෙනවා කියා ව්‍යවස්ථාවේ කොතැනකවත් මම දුටුවේ නැහැ. මේක රනිල් පක්ෂ පිරිස විසින් අනෙකුත් සාමාජිකයන්ව නොමඟ යවන්න කරන ප්‍රකාශයක් පමණක් බවයි මගේ අදහස. පසුගිය කාලේ ලොකු හඬක් මතුවුණා පක්ෂ අභ්‍යන්තරයේ පූර්ණ වෙනසක් ඇති කළ යුතු බවට. ජාතික වැඩ පිළිවෙළක්, අලුත් මුහුණක්. ශක්තිමත් සංවිධානයක්. මූලික කාරණය වුණේ පක්ෂ නායකත්වයේ වෙනසක්. නමුත් පසුගිය සතියේ වුණේ නායකයා එහෙමම තියාගෙන අනික් නිලවල වෙනසක් කිරීම. මේක බොරු විජ්ජාවක්. ප්‍රතිසංස්කරණ කමිටු පත් කළාට ඒවා එකකවත් නායකත්වය ඉවත් කරන යෝජනාවක් නැහැ. මේ හදන්නේ ප්‍රශ්නය යටපත් කරන්නයි. මේක රනිල්ගේ ප්ලාස්ටික් න්‍යාය. ඔහු කරන්නේ කල් ඇදීම. කල් දැමීම ප්‍රශ්නය යටයාවි යැයි ඔහු හිතනවා.

මේ වගේම තමයි 2014 නායකත්ව මණ්ඩලය පත් කිරීම. ඒ වෙලාවෙ කිව්වේ පක්ෂයේ පූර්ණ බලතල නායකත්ව මණ්ඩලයට පවරනවා කියලයි. නමුත් එය ව්‍යවස්ථාවට ඇතුළත් කළේ නැහැ. අවසානයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ එකඟත්වය නැති කිසි දෙයක් කරන්න නායකත්ව මණ්ඩලයට ඉඩ දුන්නේ නැහැ. පක්ෂ ලේකම් හැටියට මම එය හොඳින්ම දන්නවා. ආසන සංවිධායකයකු හොලවන්නවත් ඉඩ දුන්නේ නැහැ. මෙවර කළෙත් ඒක ඉල්ලන දේ පාක්ෂිකයට දුන්නේ නැහැ. මෙවර කමිටුවත් පත්තරවල ලොකු සිරස්තල පමණයි. ජනාධිපතිවරණයට තව තියෙන්නේ මාස 18යි. කවුද පක්ෂ නායකයා තවම අදහසක් නැහැ. සමහර විට තර්ක කරන්න පුළුවන් මෛත්‍රි ඇවිත් මාස දෙකෙන් අපි දිනෙව්වා කියා. ඒක වැරැදියි. මෛත්‍රිපාල සිරිසේන මහතා එන්න පෙර එජාපය ජනාධිපතිවරණය සඳහා පූර්ණ සූදානමක් සිදුකර අවසන් වෙලා තිබුණේ. මගේ මෙහෙයවීමෙන් ඡන්ද පොළවල් 12,000ක් සංවිධාන හදා තිබුණා. මංගල සන්නිවේදන බළකාය හදා තිබුණා. යොවුන් ලක් වනිතා සංවිධාන ගොඩනඟා තිබුණා. වෘත්තීය සමිති බලගන්වා තිබුණා. නෙට්වර්ක් එක හදල අවසන්.

මෛත්‍රි ඇවිත් උඩින් වාඩි වෙනකොට අපට මේ යාන්ත්‍රණය දුවවන්න හැකියාව තිබුණා. දැන් මොකක්ද තත්ත්වය... පක්ෂය බිඳවැටිලා, සමිති දියවෙලා, පාක්ෂිකයෝ කලකිරිලා, කිසි උත්තේජනයක් නැහැ. මේ අවුරුදු තුන ආපස්සට ගියා මිසක ඉදිරියට යෑමක් නැහැ. පළාත් පාලන මැතිවරණයේදී පක්ෂයට ඔවැනි ප්‍රතිඵලයක් ලැබුණේ ඒකයි. ඒක වෙනස් කරන්න උපාය මාර්ගයක් දැන්වත් තෝරන්න ඕන. මිනිසුන්ට කියන්න පුළුවන් වෙන්න ඕන අපි අලුත් පක්ෂයක් දැන්. අලුත් නායකයෙක්, අලුත් ජවයක් නැතිව සාමාජිකයා ඡන්ද පොළට ගෙනියන්න බෑ. මම හිතන්නේ මීළඟ මැතිවරණයේදී පළාත් පාලන මැතිවරණයටත් වඩා පහළ යෑමකට එජාපයට මුහුණ දෙන්න වෙනවා මේ විදියට ගියොත්.

පොදු අපේක්ෂකයා හැටියට එදා මෛත්‍රි තීරණය කරපු ආකාරයත් වැරැදියි. එජාප ව්‍යවස්ථාවේ තියෙන්නේ පොදු අපේක්ෂකයා හැටියට සහාය දෙන්න පක්ෂය තීරණය කළොත් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයන්ට අනුව ඒ තැනැත්තා කටයුතු කළ යුතු බව. එජාප මහ ලේකම්ගේ නියෝග ඔහු පිළිගත යුතු බව පක්ෂ පරමාර්ථ හා ක්‍රියාමාර්ග අනුව ගමන් කරන්න අවශ්‍ය බව. නමුත් මේ කිසිවක් මෛත්‍රි පිළිපැද්දේ නැහැ. ව්‍යවස්ථාවට පිටින් ගිහින් මෙයාව දැම්මා. දැන් ඒක විඳවනවා. මම විශ්වාස කරන්නේ නැහැ යළිත් කිසි දිනෙක පොදු අපේක්ෂක කතාවට එජාප සාමාජිකයන් එකඟ වෙයි කියා. අපි 2010 දාපු පොදු අපේක්ෂකයා පැරදුණා. 2015 පොදු අපේක්ෂකයා දිනුවා. නමුත් එජාපයට විශාල හානියක් දැනටමත් සිදුවී තිබෙනවා. පක්ෂය දියවුණේ පොදු අපේක්ෂක නිසා. අපි සහයෝගය දුන්නා. ඔහු අපේ තරගකාරී දේශපාලන පක්ෂයේ නායකයා වුණා. ඔහු නිදහස් ස්වාධීන අපේක්ෂකයකු වුණා නම් පක්ෂයට මේ තත්ත්වයට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. රටට එහෙම කියලා ඇවිත් ශ්‍රී ලනිප නායකයා වුණා. ඒක හිතන්නත් අසීරු සදාචාර විරෝධී ක්‍රියාමාර්ගයක්. ඒකට ප්‍රධාන වශයෙන් පක්ෂ නායකත්වය වගකියන්න ඕන. පක්ෂයේ අභ්‍යන්තර වෙනස ඇති නොකර ජනාධිපතිවරණයට නොවෙයි මොකකට ගියත් එජාපය අවසානයේ තල්ලු වෙන්නේ කනත්තට බවයි මට කියන්න තියෙන්නේ. මිනිසුන්ට අලුත් එජාපයක් අවශ්‍යයි. ඒක දෙන්න රනිල් වික්‍රමසිංහ මහතා සූදානම් නෑ.

උදේනි සමන් කුමාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon