යහපාලනයෙන් මාතලේ වතු කම්කරුවන් අමතක කර ඇතැයි එක්සත් ලංකා කම්කරු සංගමයෙන් ජනපතිට ලිපියක්

  👤  2944 readers have read this article !
By mawbima 2017-07-18

පල්ලේපොළ - ප්‍රසන්න

මාතලේ දිස්ත්‍රික්කයේ ද්‍රවිඩ ජනතාවගේ බලාපොරොත්තු යහපාලන රජය ඉටුකර නැතැයි සඳහන් කරමින් එක්සත් ලංකා කම්කරු සංගමය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලිපියක් යොමුකරයි.

වතු කම්කරුවන්ගේ ශක්තියෙන් බලයට පැමිණි යහපාලන රජය මේ වනවිට ඔවුන්ගේ අභිලාශයන් ඉටුකිරීමට අපොහොසත්වීම කනගාටුවට කරුණක් බව සංගමලේ ලේකම් වේලායුධම් සන්දනම් වීරසිංහම් මහතා ජනාධිපතිවරයාට යොමුකර ඇති ලිපියේ සඳහන් වෙයි.
2017-07-06 දාතමින් යොමුකර ඇති ලිපියේ කරුණු ගණනාවක් යටතේ පෙන්වා දී ඇති පරිදි රජයට සම්බන්ධ වතුවල සේවය කරන කම්කරුවන්ගේ අර්ථසාධක අරමුදල් මිලියන 300කට ආසන්න මුදලක් තැන්පත් කර නොමැත.

රුපියල් මිලියන 200කට ආසන්න මුදලක් විශ්‍රාමික පාරිතෝෂික දීමනා වශයෙන් කම්කරුවන්ට ගෙවීමට ඇතත් මෙතෙක් ගෙවා නැතැයි වීරසිංහම් මහතා සිය ලිපියෙන් ජනාධිපතිවරයා දැනුවත් කර තිබේ.
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මඟින් කම්කරුවන් සඳහා නිවාස තනාගැනීමට ලබාදී ඇති රුපියල් මිලියන 21ක ණය මුදලක් කම්කරුවන්ගෙන් අයකරගෙන ඇතත් වතු පාලනාධිකාරිය විසින් එම මුදල් නිවාස අධිකාරියට ගෙවා නොමැත.

මාතලේ දිස්ත්‍රික්කයේ කම්කරු පවුල් හත්දහසකට ආසන්න පිරිසකගේ පවුල් දෙදහසකට පමණ ප්‍රමාණවත් වැසිකිළි පහසුකම් නොමැති අතර, පවුල් විශාල ප්‍රමාණයකට පානීය ජල පහසුකම්ද නොමැති බව වීරසිංහම් මහතා සිය ලිපියෙන් පෙන්වා දී ඇත.
ගර්භණී මවුවරුන්ගේ හා දරුවන්ගේ මන්දපෝෂණ මට්ටමද ඉහළ ගොස් තිබෙන බවද වතු ආශ්‍රිත පාසල් පද්ධතියට ප්‍රමාණවත් ගුරු පහසුකම් නොමැති අතර විද්‍යා, ගණිත සහ ඉංග්‍රීසි විෂයයන් සඳහා බරපතළ ගුරු හිඟයක්ද පවතී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්