මායාකාරි කතකගේ බොරුවක් හෙළිවෙයි

  👤  3107 readers have read this article !
By mawbima 2017-07-18

අනුරාධපුර - මහේෂ් විජේසූරිය

ණය ගෙවීමට සැමියා ලබාදුන් මුදල් වියදම් කිරීම නිසා දරුවන් දෙදෙනා නිවෙසේ දමා නිවෙසින් පලාවිත් පිරිමින් පිරිසක් සිහමූර්ඡා කරන බෙහෙත් වර්ගයක් අල්ලා, තමන්ව වෑන් රථයකින් පැහැරගෙන පැමිණ අනුරාධපුර නගරයේ දමාගිය බවට පොලිසියට අමුතු මායාවක් දැමූ කාන්තාවකගේ බොරුව අනාවරණය කර ගැනීමට අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට හැකිවිය.

පිරිමින් කණ්ඩායමක් විසින් මුහුණට සිහිමුර්ජා කරන බෙහෙතක් අල්ලා තමන්ව පැහැරගෙන පැමිණ අනුරාධපුර නගරයේ දමාගිය බව පවසමින් ගම්පහ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37ක් පමණ වන කාන්තාවක් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයට පැමිණ භාරවී තිබුණු අතර අපරාධ විමර්ශන අංශය කාන්තාවට සිදුවූ අකරතැබ්බය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂිකා ධම්මිකා ද සිල්වා මහත්මියට භාරදී තිබිණි.
පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන්ට ඇය සම්බන්ධයෙන් සැක මතුවීම නිසා පැහැරගත් පිරිස ඇයව දමාගිය ස්ථානය අනාවරණය කර ගැනීමට අෑ සමඟ පා ගමනින් අනුරාධපුර නගරයේ ගමන්කර තිබේ. අනුරාධපුර නගරය පුරා ආරක්ෂිත කැමරා සවිකර තිබෙන නිසා සිදුවීම සටහන්වී තිබෙන බව පොලිස් පරීක්ෂකවරිය ඇයට පැවසීම නිසා තමන් පැහැර ගැනීමට ලක් නොවූ බව පොලිසියට පවසා තිබිණි.

සැමියා විසින් ණය පියවීමට ලබාදුන් මුදල් වියදම් වීම නිසා සිත් කලකිරී මාස හයක් වූ අත දරුවා නිවෙසේ දමා කනකර සියල්ලම නිවෙසේ තබා රැකියාවක් සොයා කොළඹ ගිය බව ඇය පොලිසියට පවසා තිබිණි. රැකියාවක් නොලැබීම නිසා බස් රථයක නැඟී අනුරාධපුරයට පැමිණි බවත් බස් රථයේදී හමුවූ තරුණ යුද හමුදා සෙබළකුට තමන්ට සිදුවූ අකරතැබ්බය පැවසූ අවස්ථාවේ නැවත නිවෙසට යන ලෙස ඔවදන් දුන් බව ඇය පොලිසියට පවසා තිබිණි.

නැවත නිවෙසට ගියවිට ගැටලුවකට මුහුණදීමට සිදුවන නිසා තමන්ව පිරිමින් කණ්ඩායමක් පැහැරගත් බවට බොරුවක් ගොතා ගෙන පොලිසියට පැමිණි බව ඇය පොලිසියට පවසා තිබිණි. සියලු තොරතුරු අනාවරණය කරගත් පොලිසිය ඒ පිළිබඳව කොළඹ ප්‍රදේශයේ රාජකාරියේ නිරත සැමියාට දැනුම්දීමෙන් පසු සැමියා අනුරාධපුර මූලස්ථාන පොලිසියට පැමිණ ඇය භාරගෙන තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්