ලංකාව හා සිම්බාබ්වේ කඹ ඇදිල්ලක මැතිව්ස් හා මෙන්ඩිස්ගේ තල්ලුව තීරණාත්මකයි

  👤  3080 readers have read this article !
By mawbima 2017-07-18

18-07-2017 Mawbima (22).jpg (600×350)

සිරිනාම රාජපක්‍ෂ

ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සිට...
සිම්බාබ්වේ කණ්ඩායමක් ඉදිරියේ පළමු වරට තම රටේදීම ටෙස්ට් තරගයකින් පරාජය වීමේ ඇති අවදානමෙන් ගොඩ එන්නට වෙර දරන ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 3ක්ම ඊයේ සිවුවැනි දිනය නිමා වන විට දැවී ගොස් තවමත් ලකුණු 218ක් පිටුපසින් සිටින අතර සිම්බාබ්වේ කණ්ඩායම 2 වැනි ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 377ත් සමඟ ඔවුන් ශ්‍රී ලංකා පිලට ජයගැනීමට නම් ලකුණු 388ක ඉලක්කයක් ලබා දී ඇත. ඒ අනුව තම 4 වැනි ටෙස්ට් අර්ධ ශතකය ලබාගත් කුසල් මෙන්ඩිස් හා හිටපු නායක මැතිව්ස් පිළිවෙළින් නොදැවී ලකුණු 60ක් හා 17ක් ලබා සිටී.

දෙවැනි ඉනිම ඇරැඹූ ශ්‍රී ලංකා පිලේ උපුල් තරංගගේ සහ දිමුත් කරුණාරත්නගේ සම්බන්ධය ලකුණු 58ක් වෙද්දී ලකුණු 27ක් ලබා සිටි තරංග බැක්වර්ඩ් ෂෝර්ට් ලෙග්හි සිටි මුවර් අතට උඩපන්දුවක් දීමෙන් දැවී යෑම පන්දු යැවූ ක්‍රීමර්ගේ මෙම ටෙස්ට් තරගයේ 6 වැනි කඩුල්ල ලෙස සටහන් වන අතර ඊට තවත් ලකුණු 50ක් ශ්‍රී ලංකාවට එකතුවෙද්දී දිමුත් දැවී ගියේ විශ්වාස කළ නොහැකි අයුරිනි. එනම් වමතින් යැවූ ෂොන් විලියම්ස්ගේ දඟපන්දුව නිදැල්ලේ හැර යෑමට සැලැස්වුවද එය සෑහෙන දඟකැවීමකට ලක්වී වම් ඉන්නේ ගැටුණු අතර මුළු ලකුණු ප්‍රමාණය 133ක් වෙද්දී ශ්‍රී ලංකා නායක චන්දිමාල්ද ලකුණු 25කට දවා ගන්නට ක්‍රීමර් සමත් විය. ඒ අනුව මෙන්ඩිස්ගේ හා මැතිව්ස්ගේ 4 වැනි කඩුල්ලේ නොබිඳුණු සබඳතාව 37ක් වන අතර කඩුලු 2ක්ම දවා ගත් සිම්බාබ්වේ නායකයා රංගන හේරත් මෙන්ම පන්දු යවන්නන් අතර කැපී පෙනිණි.
දෙරට අතර පැවැත්වෙන එකම ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය වූ ඊයේ තරගය ආරම්භ වන විට පෙරේදා දිනයේ නොදැවී ලකුණු 97ක් ලබා සිටි රාසා හා ලකුණු 57ක් ලබා සිටි වොලර් ප්‍රේමදාස පිටියට පැමිණ රාසා මුහුණ දුන් දෙවැනි පන්දුවේදීම (ඉනිමේ 69 වැනි පන්දුවාරයේ 2 වැනි පන්දුවේදී) තම මංගල ටෙස්ට් ශතකය වාර්තා කළ අතර පෙරේදා ලබා සිටි මුළු ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 37ක් එකතු වෙද්දී වොලර් ලකුණු 68කට දැවී ගියේය. 4 වැනි එක් දින අර්ධ ශතකය ලබාගත් වොලර්ගේ ඉනිම දිල්රුවන් පෙරේරාගේ පන්දුවක් ඉදිරියේ එසේ නිමා වන විට සිම්බාබ්වේ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ 7 වැනි කඩුල්ල වෙනුවෙන් දෙවැනි හොඳම සබඳතාව ලෙස රාසා සමඟ තැබූ ලකුණු 144ක සබඳතාව කෙළවර විය. ඒ වන විට සිම්බාබ්වේ ලකුණු පුවරුව ලකුණු 289ක් සේ සටහන් වූ අතර 78 වැනි පන්දුවාරයේ පළමු පන්දුවේදී සිම්බාබ්වේ ලකුණු 300 වාර්තා කිරීමෙන් අනතුරුව ඊට තවත් ලකුණු 6ක් එකතු වෙද්දී ඔවුන්ගේ නැංගුරම බවට පත්වී සිටි සිකන්ධර් රාසා දවා ගැනීමට හේරත් සමත් විය.

මිනිත්තු 342ක් කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 205කට මුහුණ දී ලකුණු 127ක් ලබා සිටි රාසා රිවර්ස් ස්වීප් පහරකට යෑමේදී පන්දුව කඩුල්ලේ වැදීමෙන් දැවී යන විට 31 වැනි වතාවටත් ටෙස්ට් තරගයකදී කඩුලු 5ක් බැගින් දවා ගැනීම හේරත්ගේ නම ඉදිරියේ සටහන් වූ අතර ඉන් පසුව පැමිණි තිරිපානෝද නායක ක්‍රීමර් සමඟ 9 වැනි කඩුල්ල සඳහා ලකුණු 55ක සබඳතාවක් තැබීම සිම්බාබ්වේ දෙවැනි ඉනිම ලකුණු 377ක් දක්වා යෑමට උපකාරී විය. අංක -10 පිතිකරුවා ලෙස පැමිණ ලකුණු 19ක් ලබා ගනිමින් තිරිපානෝ පිත්ත හැසිරවූ ආකාරය ශ්‍රී ලංකා පසුපෙළ පිතිකරුවන්ද ආදර්ශයක් කරගත යුතු අතර ඔහු ලකුණු 13ක් ලබා සිටියදී දිල්රුවන්ගේ පන්දුවකට දුන් උඩපන්දුව මිඩ් ඕෆ්හි සිටි ළහිරු කුමාර අත්හැරියේය. ඉන් පෙර ලකුණු 32ක් ලබා සිටියදී ක්‍රීමර් දුන් උඩපන්දුවක්ද පළමු ස්ලිප්හි සිටි දිමුත් කරුණාරත්න අතින් ගිලිහී ගිය අතර හේරත් යැවූ පන්දුවකට කරුණාරත්නම අල්ලා ගත් උඩපන්දුවක් නිසා ක්‍රීමර් 48කට දැවී යෑමෙන් සිම්බාබ්වේ ඉනිම කෙළවර විය.

ඒ අනුව දෙවැනි ඉනිමේදීද ලකුණු 133කට කඩුලු 6ක් දවා ගත් රංගන හේරත් මේ වන විට මුළු තරගයේදී ලකුණු 249කට කඩුලු 11ක් දවා ගෙන ඇති අතර ක්‍රීමර්ද මේ දක්වා ටෙස්ට් තරගයේදී ලකුණු 192ක් දී කඩුලු 7ක් දවාගෙන ඇත.
ඡායරූප - තාරක බස්නායක

සිම්බාබ්වේ පළමු ඉනිම _ 356
ශ්‍රී ලංකා පළමු ඉනිම - 346
සිම්බාබ්වේ දෙවැනි ඉනිම (පන්දුවාර 107.1 කදී සියලු දෙනා දැවී) ලකුණු 377
(සිකන්ධර් රාසා 127 පීටර් මුවර් 40
මැල්කම් වොලර් 68 ගේ‍ර්ම් ක්‍රීමර් 48
හේරත් 39.1-5-133-6
දිල්රුවන් පෙරේරා 30-2-95-3
ළහිරු කුමාර 20-3-72-1)

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම
දිමුත් කරුණාරත්න ප. විලියම්ස් 49
උපුල් තරංග ඇ. මුවර් ප. ක්‍රීමර් 27
කුසල් මෙන්ඩිස් නොදැවී 60
දිනේෂ් චන්දිමාල් ඇ. මසකඩ්සා ප. ක්‍රීමර් 15
ඇන්ජිලෝ මැතිව්ස් නොදැවී 17
අතිරේක 02
එකතුව (පන්දුවාර 48කදී කඩුලු 3කට) ලකුණු 170

කඩුලු වැටීම - 1-58, 2-108 ,3-133

පන්දු යැවීම -
ගේ‍ර්ම් ක්‍රීමර් 19-0-67-2 ෂෝන් විලියම්ස් 16-0-62-1

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්