කතරගම පූජනීය පුදබිමට හානි කිරීම ගැන වගකිව යුත්තන් නිහඬව සිටීම ජාතික අපරාධයක්

  👤  3062 readers have read this article !
By mawbima 2017-07-18

කතරගම - ඩී.එන්. කළුආරච්චි

කතරගම දේවාලයත් අෂ්ට එලබෝධියත් මේ රටේ ජනයාගේ මුදුන්මල්කඩක් වැනියි. මේ බිමේ කිසිදු කැණීමක් කරන්න නීතියෙන් කාටවත් බැහැ. මගේ පන්සලේ ‍ෙදාරටුවේ මුර පිළිමයක් අඹන්න නොදුන් පුරාවිද්‍යා නිලධාරීන් තේවානි අම්මා මඩමේ මහා දේවලයටයි. බෝධියටයි ආසන්නව අඩි 30ක් පමණ හාරලා අක්කරයක තරමේ බිං ගෙවල් හදන්න ඉඩ දුන්නා. මේ බිං ගෙවල් හදන කොට අෂ්ට එලබෝධියේ මුල් කැපුණා. කතරගම මහා දේවාලයට අඩි 100ක් නැහැ. විශාල ප්‍රදේශයක් යට හාරලා ශාලාවල් හදනකම් කිසිදු පරිසර වේදියකුවත් පුරාවිද්‍යා නිලධාරියකුවත් ආවේ නැහැ. අපේ උතුම් පූජනීය ස්ථාන පිළිබඳව වගකිව යුතු අංශ නිහඬව සිටීම ජාතික අපරාධයක් බව රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කතරගම ශ්‍රී අභිනවාරාම විහාරාධිපති ශාස්ත්‍රපති කපුගම සරණතිස්ස හිමියෝ පැවැසූහ.
උන්වහන්සේ මෙසේ පැවැසුවේ භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රමුඛ රාජ්‍ය ආයතන නිලධාරීන් එක්ව කතරගම පුදබිමේ ඉදිරියේදී සිදු කරනු ලබන සංවර්ධන ක්‍රියා පද්ධතිය පිළිබඳව අභිනවාරාම විහාරස්ථානයේදී පැවැති විශේෂ සාකච්ඡාවේදීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ සරණ තිස්ස හිමියන් පැවැසුවේ භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව කතරගම දේවාල භූමියේ වගකිවයුතු ආයතනයක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තම වගකීම් නිසි අයුරින් ඉටු නොකරන බව මේ භූගත දාන ශාලාව ඉදි කිරීම මඟින් සනාථ වෙන බවයි.
උන්වහන්සේ මෙසේද කීහ.
අපි දාන ශාලාව හැදුවාට විරුද්ධ නැහැ. අපි හරිම සතුටුයි. පොළව මතු පිට ඕනෑ තරම් ගොඩනැඟිලි හැදුවාට අපි විරුද්ධ නැහැ. එහෙත් දුටු ගැමුණු මහ රජතුමා හදපු වසර දහස් ගණනාවක් පැරැණි අෂ්ට එල බෝධිය. මහා දේවාලය. ආසන්නයේ අක්කරයක් තරම් භූමි ප්‍රමාණයක් භූගත ශාලාවක් හදන කොට පුරාවිද්‍යා නිලධාරීන් අධීක්ෂණය කළ යුතුයි. භෞතික සැලසුම් නිලධාරීන් මේ ක්‍රියාවන් ඉහළ නිලධාරීන්ට දැනුවත් කළ යුතුයි.
මේ රටේ යුද්ධයක් තිබුණා. තවත් ඒ ගිනි දැල් වියළී ගොස් නැහැ. යම් විදියකින් නැවත එවැනි යුගයක් පැමිණියොත් මේ බංකර ශාලාව නරක අතට හැර වෙන්න බැරි නැහැ. මම මේවා කියන කොට ජාතිවාදීන්, ආගම්වාදීන් කියලා හංවඩු ගහයි. මට දේශපාලනයක් නැහැ. එහෙත් විහාරාධිපති හැටියට මේ පුදබිම් සුරකින එක අපේ වගකීමක් යැයි සරණ තිස්ස හිමියෝ පැවැසූහ.

භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ වාස්තු විද්‍යා අංශයේ අධ්‍යක්ෂිකා චම්පිකා හෙට්ටිආරච්චි මහත්මිය පැවැසුවේ දැනට කතරගම නගරයේ පවතින කැඩී ගිය යකඩ වැට සංවර්ධනය කර නාගහවීදියේ වන ලැහැබ කොටු කර නව යකඩ වැටක් ඉදිකර කිරීමටත් නාගහවීදිය මාර්ගයට ආසන්නයේ නව වැසිකළි පද්ධතියක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බවයි.

මෙයට අමතරව පුදබිමේ එකතු වෙන කැළි කසළ වෙන්කර කසළ කළමනාකරණය කිරීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමට ඉදිරියේ කටයුතු කරන බවත් දැනට මැණික් ගඟේ කඩා ගෙන ගොස් ඇති ගං රක්ෂිත බැමි නැවත සෑදීමට පියවර ගන්නා බව චම්පිකා හෙට්ටිආරච්චි මහත්මිය පැවැසුවාය.
මේ සංවර්ධන සැලසුම් සාකච්ඡාව සඳහා කතරගම පොලිස් ස්ථානාධිපති උපාලි කාරියවසම්, කතරගම සිවිල් ආරක්ෂක කඳවුරේ අණ දෙන නිලධාරි ලුතිනන් කර්නල් එස්. එස්. විජේතිලක යන මහත්වරුද, මොරටුව වාස්තු විද්‍යා අංශයේ නිලධාරීහුද පැමිණ සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්