බැඳුම්කරයෙන් ගහපු ගැහිල්ලට පත්තරේ අරුම පුදුම වීම පුදුමයක්ද

  👤  3367 readers have read this article !
By mawbima 2017-07-18

18-07-2017 Mawbima (18).jpg (600×350)

ඇලෝසියස්ගෙ බැඳුම්කර සල්ලිවලින් පුදුම පත්තරයක් කියල කොළ තොගයක් තියෙන පත්තරයක් පළ කරනවා. බැඳුම්කරෙන් ගහපු ගැහිල්ලේ හැටියට කොළ තොගයක් නෙමෙයි කොළ ටොන් එකක් තියෙන පත්තරයක් පළකරන්න පුළුවන් යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි.
මන්ත්‍රිවරයා මේ අදහස් ප්‍රකාශ කළේ පසුගියදා වීරකැටියේ පැවැති 'සල්ලාල ආණ්ඩුව සහ කෙලෙසනා ලක්මව' ජනතා සම්මන්ත්‍රණ මාලාවේ පස්වැනි සම්මන්ත්‍රණයෙහි ප්‍රධාන දේශනය සිදුකරමිනි.

එහිදී අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මෙසේද පැවැසීය.
'ඇලෝසියස්ගෙ බැඳුම්කර සල්ලිවලින් මිලියන පන්සිය ගාණෙ ණය දීලා රනිල් වික්‍රමසිංහට කඩේ යන්න රූපවාහිනි නාළිකා දෙකක් ලබාගෙන තිබෙනවා. මේ රූපවාහිනි නාළිකා දෙක සඳහා ණය ලබාදීමේ ගිවිසුම තමයි ණය ගෙවා අවසන් වනතුරු ඔවුන්ට ඕනෑ විදියටලු ප්‍රවෘත්ති හා අනෙකුත් දේශපාලන වැඩසටහන් කරගෙන යෑමග, ඒ වගේම පරිපාලනයත් ඔවුන්ට ඕන විදියටයි සිදුවෙන්නේ.

මේ ණය දීලා තියෙන චැනල් දෙකේ අයිතිකාරයෝ නිල වශයෙන් පරණ අයමයි. මේ ඇග්‍රිමන්ට් එක ඡන්දෙ කිට්ටු වෙනකොට රෙදි ගලවගෙන වික්‍රමසිංහ මහත්තයා වෙනුවෙන් කඩේ යෑමයි.
මේ තරම් හොරකමක් කරලා රටේ ජනමතය හසුරවන්න ව්‍යාපාර මිලදී ගැනීම ගැන හොයන්නෙ නැහැ. හැබැයි කන්දෙ විහාරෙ පින්කැටේට වැටෙන ගාණ හොයන්න යනවා.

ඒ විතරක් නෙමෙයි මුළු මහත් ජාතියකට අභය දානය දුන් රණවිරුවන් සිටිය යුත්තේ රජගෙදර වුවත් ඔවුන්ට අද සිර ගෙදර උරුම කර දී තිබෙනවා.
මේ ආණ්ඩුව රටේ පැවැත්මත්, ආරක්ෂාවත් අනතුරේ හෙළා තිබෙනවා. මේ වනවිට යුද සමයේදී නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ලෙස සහ ප්‍රහාරාත්මක නාවික හමුදා බල ඇණිවල ප්‍රධානියා ලෙස කටයුතු කළ කොමදෝරු ඩී.කේ.පී. දසනායක මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොහු නාවික හමුදා ඉතිහාසය තුළ ක්ෂේත්‍ර සම්මානය දිනාගත් අට දෙනාගෙන් කෙනෙක්.

ඒ වගේම දෙවැනි වතාවටත් එම සම්මානය සඳහා නිර්දේශ වූ දෙදෙනාගෙන් එක් අයෙක්. වෛද්‍යවරුන්ගේ නිර්දේශ පවා නොසලකා, මේ රට රුදුරු ත්‍රස්තවාදයෙන් ගලවා ගැනීමට විශිෂ්ට මෙහෙවරක් කළ මේ රණවිරුවා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ත්‍රිකුණාමලයේ සිට මාළු ලොරියක බෝම්බ පුරවා ගෙනැවිත් කොළඹ නගරය වනසා දැමීමේ සැලැස්මක් එදා යුද සමයේදී නාවික හමුදා බුද්ධි අංශ හෙළිදරව් කරගෙන මේ ලොරිය අත්අඩංගුවට ගත්තා. මෙහිදී කොන්ත්‍රාත්තුව දුන් අය හෙළි කරගෙන ප්‍රබල ත්‍රස්තවාදීන් එකොළොස් දෙනකු අත්අඩංගුවට ගත්තා. දැන් මේ අය අතුරුදන්ලු. දැන් ඒ දහදෙනාට කියන්නේ ත්‍රස්තවාදීන් නෙවෙයි. දරුවන් කියලයි. දැන් මරුවන් දරුවන් වෙලා. විරුවන් මරුවන් වෙලා. මේ සිදුවීමට අදාළවයි කොමදෝරු දසනායකව අත්අඩංගුවට ගත්තේ.

අද මවුබිම තියෙන්නේ අනතුරුදායක ඉමක. ඇඟට පතට නොදැනී මවුබිම දෙකඩ කිරීමේ දිසාවටයි රැගෙන යමින් තිබෙන්නේ. අලුත් ව්‍යවස්ථාව එන්නේ ඒ උවමනාව ඉටුකර දීමටයි. ඒ නිසාම මවුබිමට ආදරය කරන සියලු දෙනා මේ ව්‍යවස්ථාව හදන ක්‍රියාවලියෙන් ඉවත්විය යුතුයි.
අපි ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ටත් යෝජනා කරලයි තියෙන්නේ දැන් ඔය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් සහ එහි මෙහෙයුම් කමිටුවෙන් ඉවත්වීමට කාලය හරි කියලා.

තෛ්‍රනිකායික මහ නාහිමිවරු විධානය කරනවා නම් 'නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය නැහැ' කියලා, උන්වහන්සේලා එපා කියලා ව්‍යවස්ථාව හදන ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ හෝ එම මණ්ඩලය මෙහෙය වන මෙහෙයුම් කමිටුවේ ලගින්න ඒකාබද්ධ විපක්ෂයේ අපට අයිතියක් නැහැ.
හර්ෂනී අර්සකුලරත්න

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්