නව ව්‍යවස්ථාවක් හදන්නේ බෙදුම්වාදී අපේක්ෂා ඉටු කිරීමටයි

  👤  2971 readers have read this article !
By mawbima 2017-07-18

18-07-2017 Mawbima (15).jpg (600×350)

නව ව්‍යවස්ථා සම්පාදනය මඟින් ෆෙඩරල් ව්‍යවස්ථාවකටත් එහා යන රට කැබලි කෙරෙන බෙදුම්වාදී අපේක්ෂා ඉෂ්ටවන ව්‍යවස්ථාවක් සම්පාදනය කෙරෙන බව යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිඳු කුමාරතුංග පවසයි.
ඔහු මේ බව පැවැසුවේ පසුගියදා ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී "ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳ බොරු එපා" යනුවෙන් යුතුකම සංවාද කවය සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ජනාධිපති, අගමැති සහ අධිකරණ ඇමැතිවරයා ශ්‍රී ලංකාවේ ඒකීයභාවයට හෝ බෞද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානයට හානි වන කිසිදු ව්‍යවස්ථා සංශෝධනයක් නොකරන බව නැවත නැවත ප්‍රකාශ කර සිටියද ලාල් විජේනායක කමිටු වාර්තාව සහ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවට ඉදිරිපත් කළ කෙටුම්පත තුළින් පැහැදිලිවම ෆෙඩරල් ව්‍යවස්ථාවකටත් එහා යන රට කැබලි කෙරෙන බෙදුම්වාදී අපේක්ෂා ඉෂ්ටවන ව්‍යවස්ථාවක් සම්පාදනය කෙරෙන බව පෙන්නුම් කරන බව කුමාරතුංග මහතා පැවැසුවේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගෙවිඳු කුමාරතුංග මහතා
අස්ගිරියේ මහානායක හිමිවරු නව ව්‍යවස්ථාවක් මේ අවස්ථාවේ රටට අවශ්‍ය නැහැ කියලා ප්‍රකාශ කිරීමත් එක්ක විවිධ ප්‍රකාශ මේ සම්බන්ධයෙන් පළ කරනවා. ජනාධිපති ප්‍රකාශ කරනවා නව ව්‍යවස්ථා සංශෝධනයකදී රටේ ඒකීය භාවය පිළිබඳව කිසිදු වෙනසක් කරන්නේ නැහැ කියලා. ඒ වගේම අගමැති ප්‍රකාශ කරනවා නව ව්‍යවස්ථාවක් හදනවා, ඒත් තවම ව්‍යවස්ථා කෙටුම්පතවත් හදලා නැහැ කියලා. ඒ නිසා මේ සිදුකරන ප්‍රකාශ කොහොම කරනවාද කියන ගැටලුව අපිට තියෙනවා.
බුද්ධශාසන සහ අධිකරණ ඇමැති විජදාස රාජපක්ෂ ප්‍රකාශ කරනවා ඒකීය භාවය අහෝසි කරන කෙටුම්පත් හදලත් නැහැ දැකලත් නැහැ කියලා. ඔහු ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මූලිකම ක්‍රියාවලීන් සිදු කරන මෙහෙයුම් මණ්ඩලයේ සාමාජිකයෙක්. මේ සියලු ප්‍රකාශවලින් අපිට ප්‍රශ්න විතරයි මතුවෙන්නේ. ඒ වගේම තමයි සුමන්තිරන් මන්ත්‍රිවරයා ප්‍රකාශ කළා අපි මේ ආණ්ඩුවත් එක්ක ඉන්නේ අපේ දේශපාලන ඉල්ලීම්වලට සරිලන ව්‍යවස්ථාවක් සකස් කර ගැනීම සඳහා කියලා. ෆෙඩරල් නම නැතත් නව ව්‍යවස්ථාවේ ෆෙඩරල් විසඳුම තියෙනවා කියලා ඔහු පැහැදිලිව කිව්වා. මේ ව්‍යවස්ථාවේ ෆෙඩරල් කියන නම තිබුණත් නොතිබුණත් මේ සකස් කරන්නේ ෆෙඩරල් ව්‍යවස්ථාවක් කියලා.
මෙහිදී අදහස් දැක්වූ ප්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහත

මේ වෙනකොට අපේ රට ඉතාම නරක අන්තයකට ඇදී යනවා. මහජනතාවගේ ඡන්දයෙන් ආණ්ඩු වෙනස්වන රටවල අලුතින් ආණ්ඩුවක් බලයට පත්වීම ගැන කිසිදු ප්‍රශ්නයක් නැහැ. 2015 ජනවාරි 08 සහ 2015 අගෝස්තු 17 ඡන්දවලින් බලයට පත් වුණු ආණ්ඩුව යටතේ සෑම අංශයකින්ම බරපතළ පරිහානියකට, අර්බුදයකට රට තල්ලු වෙමින් තියෙනවා. එයින් එකක් තමයි ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය. එහිදී අපිට දකින්න තියෙනවා ආණ්ඩුව විශාල වශයෙන් සත්‍ය වසන් කරනවා. මුළා කරනවා. වංචනික විදියට ක්‍රියා කරනවා. මේ ආණ්ඩුව විතරක් නෙමෙයි ජනතාවට බොරු කියන්නේ. අතීතයේ ඉඳලාම පාලකයෝ පාලිතයන්ව රවටලා තියෙනවා.
ජනමත විචාරණයක් අවශ්‍ය කිසිදු වගන්තියකට අත තියන්නෙ නැහැ කියලා එදා ජනාධිපති පොරොන්දු වුණා. එදා හැට දෙලක්ෂයක ජනතාව ඡන්දය දුන්නේ අලුත් ව්‍යවස්ථාවකට නෙමෙයි ව්‍යවස්ථා සංශෝධනයකට. මෙතැන ප්‍රශ්නය තියෙන්නේ ව්‍යවස්ථා සංශෝධනයක් කරන්න පොරොන්දු වෙලා අලුතින් ව්‍යවස්ථාවක් දැන් හදන්න යන එක.

ඇත්ත වශයෙන්ම මේ රටේ ජනතාව පෙළෙන ප්‍රශ්නවලට එකකට වත් අලුතින් හදන ව්‍යවස්ථාවකින් විසඳුමක් ලැබෙන්නේ නැහැ.
මේ කඩිමුඩියේ හදන ව්‍යවස්ථාවකින් මිනිසුන්ට ලැබෙන විසඳුම මොකක්ද කියලා අපි අහනවා. ව්‍යවස්ථාවල කොයිතරම් අලංකාර වචන ඇතුළත් කළත් රටක ශක්තිමත් ආර්ථිකයක් ඇති කරන්නේ නැතිව ඒ ආර්ථිකයේ ඵලය සාධාරණ ලෙස බෙදී යෑමේ ක්‍රමයක් ඇති කරන්නේ නැතුව මේ ලියවිලි සකස් කිරීමෙන් රටේ පීඩිත ජනතාව පෙළෙන ප්‍රශ්නවලට කිසිම සහනයක් ලැබෙන්නෙ නැහැ.
ජනතා විමුක්ති පෙරමුණේ සමහර නායකයො කියනවා "කතා දෙකක් නැහැ. නව ව්‍යවස්ථාවක් අවශ්‍යයි" කියලා. වාමාංශික ජනතා විමුක්ති පෙරමුණ ධනපති එක්සත් ජාතික පක්ෂයෙන් බලාපොත්තු වෙනවා සාධාරණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්.
උදයන්ති මුණසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්