ඩී.කේ.පී ගැන විවාදයට එන්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකට ගම්මන්පිලගෙන් අභියෝගයක් පොලිසියේ තකතීරු වැඩ රටට හෙළි කරන්න සූදානම්

  👤  3003 readers have read this article !
By mawbima 2017-07-18

18-07-2017 Mawbima (14).jpg (600×350)

කොමදෝරු ඩී.කේ.පී. දසනායක මහතා කප්පම් ගැනීම්, පැහැර ගැනීම් සහ අතුරුදන් කිරීම්වලට සම්බන්ධ බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සිදු කරන ප්‍රකාශ සත්‍ය බවට ඔහුගේ හදවත පිළිගන්නේ නම් තමන් සමඟ විවාදයකට පැමිණෙන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා අභියෝග කරයි.
පොලිසිය සිදු කරන අමන තකතීරු ක්‍රියාව ජාතිය ඉදිරියේ හෙළි කිරීමට තමන් සතුව තොරතුරු තිබෙන බවත් කාකි සූට් එක ඇඳීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නුසුදුසු බවට විවාදයේදී ඔප්පු කර පෙන්වන බවද මන්ත්‍රිවරයා පැවැසුවේය.

ඊයේ (17දා) පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය පක්‍ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කෙළේය.
කොමදෝරු ඩී.කේ.පී. දසනායක කප්පම් ගැනීම්, පැහැර ගැනීම් සහ අතුරුදන් කිරීම්වලට සම්බන්ධ බවට පෙන්වීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිර්ලජ්ජිත උත්සාහයක නිරත වුණා. ඒ වගේම පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියන විදියට කොමදෝරු දසනායක අපරාධකරුවකු බවට වාර්තා කරන්නේ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ. මේක පට්ටපල් බොරුවක්.

ලුතිනන් කමාන්ඩර් සම්පත් මුණසිංහ නාවික හමුදාවේ නිලය භාවිත කරමින් කොළඹ අහිංසක දෙමළ ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගන්නා බවට එවකට නාවික හමුදාපති අද්මිරාල් කරන්නාගොඩට තොරතුරු ලැබීමත් සමඟ ඔහු ඒ පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පොලිසියට පැමිණිලි කරනවා. මෙම කප්පම් ගැනීම් සිදු කළ සමයේ කොමදෝරු දසනායක බුද්ධි අංශ භාරව සිටියේ නැහැ. ඔහු කටයුතු කළේ නාවික හමුදාවේ නියෝජ්‍ය මෙහෙයුම් අධ්‍යක්‍ෂ සහ කුඩා බෝට්ටු මෙහෙයුම් ප්‍රධානියා ලෙසයි.

රණවිරුවන් මොන අපරාධය කළත් ඉවසාගෙන සිටිය යුතු දැයි එන්.ජි.ඕ. කාරයන් අපෙන් අහනවා. කවුද එහෙම කරන්න කිව්වේ? ලුතිනන් කමාන්ඩර් සම්පත් මුණසිංහත් යුද බිමේ විශිෂ්ට දස්කම් පෑ දක්‍ෂ රණවිරුවෙක්. නමුත් අපි ඔහු වෙනුවෙන් පෙනී සිටියේ නැහැනේ. අපට සම්පත් මුණසිංහ පිළිබඳ සාධාරණ සැකයක් තිබෙනවා. ඒ නිසා ඔහු අධිකරණය හමුවේ සිය නිර්දෝෂී බව ඔප්පු කළ යුතුයි. එහෙත් කොමදෝරු දසනායක සම්බන්ධයෙන් සිදුවන්නේ පදනම් විරහිත චෝදනා නඟමින් බෙදුම්වාදීන්ගේ මන‍ෙදාළ සැපිරීමක්. දසනායක අනාගත නාවික හමුදාපතිවරයකු බව අවිවාදිත කරුණක්. අවාසනාවට දසනායකට චෝදනා නඟලා නාවික හමුදාවෙන් ඉවත් කළොත් තමන්ට නාවික හමුදාපති විය හැකි යැයි සිතන නිලධාරීන් කිහිපදෙනකුත් මේ මහා පාවාදීමට උල්පන්දම් අල්ලනවා.

මේ සිදුවීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව පිටු 51ක වාර්තාවක් සකසා තිබෙනවා. එම වාර්තාවට අනුව කොමදෝරු දසනායකට එරෙහිව චෝදනා ගොනු කිරීමට කිසිම පදනමක් නැහැ. සැබෑ සැකකරු වන සම්පත් මුණසිංහ ඇප ලබා එළියේ. දසනායක රක්‍ෂිත බන්ධනාගාරයේ.

අතුරුදන් කළ අයගේ මවුපියන් කොමදෝරු දසනායක හමුවුණා යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක බොරු කිව්වා. එහෙම කිසිම දෙයක් වෙලා නැහැ. රජීව් නාගනාදන් සිය මවුපියන්ට ත්‍රිකුණාමලය කඳවුරේ සිටියදී දුරකතනයෙන් කතා කර තිබෙනවා. ඔහු ඉතා පැහැදිලිව කියා තිබෙනවා. තමන්ව පැහැර ගත්තේ සම්පත් මුණසිංහ බවත් කඳවුර භාර නිලධාරි දසනායක නිසා ඔහුව මවුපියන් හමුවුණොත් බේරෙන්න පුළුවන් වේවි කියලා. නමුත් ඇත්තටම දසනායක ඒ වන විට සේවය කළේ කොළඹ මූලස්ථානයේ මිස ත්‍රිකුණාමලය කඳවුර භාරව නොවෙයි. අතුරුදන් වූ තරුණයන් පස්දෙනාගේ මවුපියන් විසින් අධිකරණයේ හබයාස්කෝපස් නඩු ගොනු කළා. ඒ නඩු වාර්තා බැලුවොත් පෙනේවි සැබෑ සැකකරු දසනායකද, මුණසිංහද කියලා.

නාවික හමුදාවේ නම විකුණා කප්පම් ගැනීම් සිදුකළ නිලධාරීන්ට ලබාදිය හැකි උපරිම දඬුවම ලබාදෙන්න. නමුත් කිසිම වරදක් නොකළ මෙම විශිෂ්ට නිලධාරියා දඩයම් කිරීම ආණ්ඩුව නතර කළ යුතුයි.

යුද්ධය පැවැති දශක තුනේදී තමන්ගේ පුතා කොටි මරාවිද කියලා බියෙන් මවුපියන් සිටියේ. දැන් වසර තුනක් තිස්සේ රණවිරු මවුපියන් බියෙන් සැලෙමින් සිටින්නේ කොයි මොහොතේ තමන්ගේ දරුවා පොලිසියෙන් කුදලාගෙන යාවිද කියලා. ලෝකයේ කිසිම ජයග්‍රාහි හමුදාවක් මුහුණ නොදුන් අවාසනාවන්ත තත්ත්වයක් මේක. මම මේ පරගැති රූකඩ ආණ්ඩුවට කියනවා අපේ රණවිරුවන් මුහුණ දෙන මේ අවාසනාවන්ත තත්ත්වයට මුහුණ දුන් තව එකම එක හමුදාවක් නම් කරන්න කියලා.
නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගන්න කියලා කවුරුවත් ඉල්ලුවේ නැහැ. හැමෝම ඉල්ලා සිටියේ සයිටම් ජනසතු කරන්න කියලා. සයිටම් සහ නෙවිල් ප්‍රනාන්දු රෝහල කියන්නේ දෙකක්. නෙවිල් ප්‍රනාන්දු රෝහල කියන්නේ රෝහලක්. සයිටම් කියන්නේ නීති විරෝධී වෛද්‍ය පීඨයක්.

නෙවිල් ප්‍රනාන්දු රෝහලට රෝගීන් එන්නේ නැති නිසා අයිතිකරුවන්ට දැවැන්ත අර්බුදයක් මතුවෙලා තිබුණේ. එක් පැත්තකින් රෝගීන් නැති නිසා මේ දැවැන්ත රෝහල නඩත්තු කරන්න ආදායමක් නැහැ. අනෙක් පැත්තෙන් රෝහලට රෝගීන් නැති නිසා සයිටම් වෛද්‍ය පීඨය කරගෙන යන්න බැරි වෙලා. නෙවිල් ප්‍රනාන්දු මහතාගේ මේ ප්‍රශ්න දෙක විසඳීම තමයි මේ රජයට පවරා ගැනීමේ ඇත්ත අරමුණ. දැවෙන ජාතික ප්‍රශ්න තිබෙන රටක ආණ්ඩුවේ ප්‍රමුඛතාව විය යුත්තේ නෙවිල් ප්‍රනාන්දුගේ ප්‍රශ්න විසඳීමද? එක් එක් පුද්ගලයන්ගේ ප්‍රශ්න විසඳීම පසෙක තබා ඩෙංගු වැනි ජාතික ප්‍රශ්න කෙරෙහි අවධානය යොමු කරන මෙන් අපි ඉල්ලා සිටිනවා.
ඉෂාරා සිල්වා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්